ජපානයේ රැකියා සාධාරණ ප්‍රතිශතයක් දිළිදු පවුල්වලට දිය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – ජපානයෙන් පුහුණු ශ්‍රමිකයන් යැවීමේදී මෙරට දිළිඳු පවුල් හා සමෘද්ධි පවුල්වල සාමාජිකයන්ටද සාධාරණ ප්‍රතිශතයක් ලබා දිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අද ජපානයට රැකියා සඳහා යෑමට රුපියල් ලක්ෂ පහක් වැනි මුදලක් එක් අයෙකුට වැය වේ. ඒ මුදල් සමහරු හොයා ගන්නේ මුළු පවුලෙම කනකර, ඉඩම්, ගෙවල් උකස් කර රටට ණය වීය. ඒ නිසා ඇත්තටම ආර්ථික වශයෙන් නගා සිටුවිය යුතු දිළිඳු පවුල්, සමෘද්ධි පවුල් වලට මේ අවස්ථාව නොලැබෙන බැවින්, රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකම ඒ පවුල්වල සාමාජිකයන් සඳහා ජපන් රැකියා අවස්ථා සාධාරණ ප්‍රතිශතයක් වෙන් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කලේ , IM Japan ආයතනයේ සහ ජපන් රැකියා සඳහා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභීන් සමඟ ඊයේ (18) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවකදීය.

මෙම සාකච්ඡාවට IM Japan ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සාමාන්‍යාධිකාරී හිරෝතකා කවහාරා (Hirotaka Kawahara) මහතා සහ ජපන් රැකියා සඳහා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී ආයතන නියෝජිතයන් එක් වූහ.

මෙහිදී විශාල පිරිසකට ජපානයේ රැකියා ලබාදීමට කවහාරා මහතා එකඟ වූ අතර, ඒ සඳහා එරට රැකියා ඉල්ලුමට සරිලන පුහුණුවීම් ලබා දෙන ලෙසද ඔවුන්ගේ ජපන් භාෂා නිපුණතාවය අත්‍යාවශ්‍ය බව ද කවහාරා මහතා පැවසීය.

ජපන් රැකියා බලපත්‍ර ආයතන නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන් කරුණු වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රැකියා ලබා දීම සඳහා මුදල් ලබා අය කිරීම ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ නීති සංග්‍රහයට පටහැනි බවය. නමුත් මෙම ශ්‍රමිකයන් පුහුණු කිරීමට රජය මඟින් ලබා දීමට හැකි බවත්, ඒ නිසා ඉදිරියේදී ජපාන් රැකියා සඳහා මුදල් අය කිරීම නතර කිරීමට සිදු වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජපන් රැකියා සඳහා පෞද්ගලික අංශයේ කාර්ය භාරය කිසිසේත් අඩපණ නොකරන බවත්, ඒ සඳහා රජය උපරිම සහය ලබා දෙන බවත්, එහෙත් රැකියාලාභීන්ගෙන් මුදල් අය කිරීම කිසිසේත් අනුමත නොකරන බවද නව ක්‍රමවේදයකට හැඩගැසීමට මාස හයක කාලයක් එම බලපත්‍ර ආයතන වලට ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ හිරෝතකා කවහාරා මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් පිළිබඳ ජපානයේ ජනයා තුළ ඉහළ පිළිගැනීමක් සහ ප්‍රසාද ජනක හැඟීමක් ඇති බවත්, එම නිසා එම සාත්තු හා සත්කාර සේවා සඳහා මෙරට විශාල පිරිසක් ජපානයට යැවීමට අවස්ථාව ඇති බවයි. එම නිසා ඔවුන්ට ජපන් භාෂා නිපුණතාවය හා සාත්තු සේවා කටයුතු පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා දෙන මෙන් කවහාරා මහතා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු ද එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *