ශ්‍රී ලංකාව කොවිඩ් තර්ජනය ජයගත් රටක් ලෙස ජපානයට නිල වශයෙන් දැනුම් දීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ජපානය නිකුත් කර ඇති කොවිඩ් තර්ජනය නොමැති රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට අදාල නිල ඉල්ලීම කඩිනමින් ජපානයට යවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එම ඉල්ලීම නිල වශයෙන් ජපානයට ඉදිරිපත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඊයේ (18) සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

ජපානයේ අන්තර්ජාතික මානව සම්පත් සංවර්ධන සංවිධානයේ කොළඹ නියෝජිත හිරෝතකා කවහාරා (HIROTAKA KAWAHARA) මහතා සහ ජපානයේ රැකියාලාභී ආයතන නියෝජිතයන් සමඟ අමාත්‍යවරයා පැවති සාකච්ඡාවකදී අදහස් දැක්වූ කවහාරා මහතා, ජපානය ශ්‍රීලංකාව කොවිඩ් නිදහස් රටක් ලෙස තවමත් නිල වශයෙන් පිළිගැනීම ප්‍රකාශයට පත් නොකිරිම නිසා දැනට ජපානයේ රැකියා සඳහා යාමට පුහුණු වී සිටින 200 පමණ දෙනා ජපානයට යැවීම ප්‍රමාද වන බව පෙන්වා දුන්නේය. එසේම ජපානයේ සාත්තු හා සත්කාර සේවා සඳහා විශාල පිරිසක් යැවීමට ඉඩ ඇති බවත්, ලාංකික සේවිකාවන් පිළිබඳ ජපානයේ ජනයා තුළ ඉතාමත් ඉහළ පිළිගැනීමක් සහ ප්‍රසාදජනක හැඟීමක් ඇති බව කවහාරා මහතා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ජපානයේ ඉල්ලුමට සරිලන වෘත්තීන් සඳහා අපේ තරුණ තරුණියන් පුහුණු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි. දැනට ජපානයේ රැකියා සඳහා 200 ක් පුහුණු වන බවත්, කොවිඩ් නිදහස් රටක් ලෙස ජපානයේ අප රට පිළිබඳ නිල නිවේදනය නිකුත් කළ විගස, දැනට වසා ඇති මෙරට වීසා කාර්යාලය විවෘත කළ පසු එම 200 දෙනා ජපානයට යැවීමට කටයුතු කර, විශාල පිරිසකට එකවර ජපන් භාෂාව සහ සත්කාරක සාත්තු සේවා පිළිබඳ පුහුණුව දීම අරඹන බවද ඇමතිවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු ද එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =