දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – දහම්පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඓතිහාසික කසාගල රාජමහා විහාරස්ථානයේ ඊයේ (23) පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවයේදී අගමැතිවරයා මේ බව පැවසීය.

පාස්කු දින ප්‍රහාරය, ත්‍රස්තවාදී ගැටලු ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනය බව සිහිපත් කළ අගමැතිවරයා, කිසිඳු ආගමක ප්‍රචණ්ත්වය උගන්වන්නේ නැති බවත් අවධාරණය කළේය.

අපේ රටට හඳුන්වා දුන් මිෂනාරී අධ්‍යාපන රටාව බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑ බව කී අගමැතිවරයා, මේ වන විට මෙරට දරුවන් ලක්ෂ 23කට ආසන්න පිරිසක් දහම් පාසල් අධ්‍යාපනය ලබන බව ද කීවේය.

සාරධර්මවලින් පිරිපුන් දරුවන් පිරිසක් රටට දායාද කිරීමට දහම්පාසල් පද්ධතිය රට තුළ පවත්වාගෙන යාමට උරදෙන මහා සංඝරත්නය හා ගිහි ගුරු පිරිසගේ කැප වීම අගය කරන බවද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් පළ කළ අගමැතිවරයා මෙසේ ද කීවේය.

ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්ත්‍යව්‍ය අගය කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි ප්‍රමාණයක් සාරධර්ම පිරීහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ දරුවන්ගෙන් දහම් පාසල් යන ප්‍රමාණය බැලුවාම විශාල දරු පරපුරක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30ක් හෝ 45ක් බුද්ධාගම ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.

දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණ ගරුක දරුවන් පිරිසක් අපිට රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම් පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයෙකු ද පත්කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ ඉදිරියට ගෙන යාමේ පියවරක්.

රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.

බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම් ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.

පසුගිය කාලයේ රට තුළ සිදු වූ විවිධ ප්‍රශ්න, පාස්කු ප්‍රහාරය, ත්‍රස්තවාදය යනාදී ගැටලු ඇති වුණා. එවැනි සියල්ලක් නැති කිරීමට වඩාත් දායක වෙන්නේ ආගමික අධ්‍යාපනය. කිසිම ආගමක ප්‍රචණ්ඩත්වය උගන්නන්නේ නෑ. ඒ වගේම මෙම උත්සවය පැවැත්වීමට කසාගල තෝරා ගැනීම පිළිබඳවත් මා සතුටු වෙනවා.‘ යැයි ද පැවැසීය.

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජි මහනායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය, ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු නියෝජ්‍ය සභාපති, මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මැති ඇමැතිවරු හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රමුඛ දකුණු පළාත් ලේකම්තුමා හා දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරු භවතුන් හා දුවා දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *