ආර්ථිකය කඩා වැටී ආයෝජන අවස්ථා රැසක් අහිමි වීමට 19 වැනි සංශෝධනය මූලික වශයෙන් හේතු වුණා

(කොළඹ, ලංකාපුවත්) – ‪ 19 වැනි සංශෝධනයේ ප්‍රතිඵල නිසා ආයෝජකයන්ට අපේ රට කෙරෙහි තිබූ විශ්වාසය නැතිව ගිය බවත් ආර්ථිකය කඩා වැටී ආයෝජන අවස්ථා රැසක් අහිමි වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අැමැති ජී .එල්. පීරිස් මහතා පැවැසී ය.

ඒ මහතා මේ බව පැවැසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (24)පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

19 වැනි සංශෝධනය සම්පුර්ණ සාපයක්. බව මා පැහැදිලිවම ප්‍රකාශ කරනවා. මේ රටේ ආර්ථික සංවර්ධනයෙ, සුරක්ෂිතභාවය සහ ප්‍රජාත්‍රන්ත්‍රවාදී සංස්කෘතියක් තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් වු ප්‍රධාන ගැටලුව වන්නේ 19 වැනි සංශෝධනයයි.

අභිනව ආණ්ඩුවේ වැඩකටයුතු ජනතා අපේක්ෂාවන්ට අනුකුලව දැන් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ඇමතුවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිම සඳහා ගන්නා පියවර පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව දැනුවත් කළා.

ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා හා සිකුරාදා පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කෙරෙනවා. ඒ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ රජයේ වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා සම්පුර්ණ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරිමට පෙර අවශ්‍ය මුදල් ලබා ගැනිම සඳහායි.

මේ විශාල වැඩපිළිවෙළ සාර්ථකව, ජනතාවට දුන් ප්‍රතිඥා අනුව ජනතාවගෙන් ලැබුණු දැවැන්ත වරම අනුව ඉදිරියට ගෙන යෑම සඳහා එක් මුලික පියවරක් ගැනීම අත්‍යවශ්‍යයි කියලා අපි ආණ්ඩුවක් හැටියට විශ්වාස කරනවා.

ඒ තමයි 19 වැනි ආණ්ඩුකම සංශෝධනයේ අන්තර්ගත විකෘති වූ තැන් මහ විශාල අවුලක් කියා අද කාටත් තේරෙනවා. අපි ගත යුතු ප්‍රථම පියවර වන්නේ ඒ අවුල නිරවුල් කර ගැනීමයි . ඒක ගන්නේ නැතිව වෙන කිසිම දෙයක් සාර්ථකව ක්‍රමානුකුලව කිරීමට පුළුවන්කමක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ව ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයේදී රටට දුන් ප්‍රධාන පණිවිඩය කුමක්ද?. ගිය අවුරුද්දේ නොවැම්බර් දාසය වැනිදා අති විශාල වරමක් මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නා. ඒ වරම ක්‍රියාත්මක කිරීම සඳහා එතුමාට සහයෝගය ලබා දෙන පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබුණා.එතුමාගේ දෑත් ඒ විදිහට ශක්තිමත් කරලා ජනතාවගේ අපේක්ෂා උපරිම මට්ටමින් ඉටු කිරීම සඳහා එතුමාට වුවමනා හයිය ලබා දෙන්න කියලායි ගෝඨාභය රාජපක්ෂ මහතා මූලික පණිවිඩය දුන්නේ.

ඒ සඳහා මේ රටේ ජනතාව 2/3 බහුතරයක් ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන බාධකය වන්නේ19 වැනි සංශෝධනයයි. මේ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීම අසීරු තත්ත්වයට පත් කරන්නේත් මෙයයි.ඒ නිසා සියල්ලට ප්‍රථමයෙන් ජනතාවගේ කැමැත්තෙන් කළයුතු ශක්තිමත්ම පියවර මුලින්ම කළ යුතුයි. 2/3 බහුතරයක් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ 19 වැනි සංශෝධනය ආශ්‍රිත ගැටලුව විසදීම සඳහා බව මම වේදිකා ගණනාවක ජනතාවට පැහැදිලිව කිව්වා . එය රහසක් නොවෙයි. අපි කිසිදෙයක් හැංගුවේ නැහැ. අපි මෙය කරනවා. එය කිරීමට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපිට ලබා දෙන්නැයි ඉතාමත් පැහැදිලිව අපි ජනතාවට කිව්වා. ජනතාව ඒකට ඉතාමත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිචාරයක් ලබා දුන්නා.

මේ 19 වැනි සංශෝධනය සම්පුර්ණ සාපයක් කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති වශයෙන් මම පැහැදිලිව කියනවා.ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මේ රටේ , සුරක්ෂිතභාවය සම්බන්ධයෙන්, මුලික මට්ටමේ වුණත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී සංස්කෘතියක් මේ රටේ තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් යන මේ ක්ෂේත්‍ර තුනටම ඇති ප්‍රධාන ගැටලුව තහංචිය වන්නේ 19 වැනි සංශෝධනයයි.

මම එහෙම කියන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීම සම්බන්ධයෙන් විශේෂයෙනම කොවිඩ් 19 උපද්‍රවයට පසුව අත්‍යවශ්‍ය වන්නේ ආයෝජනයයි. ආයෝජන ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසිය වන්නේ විශ්වාසයයි. අතිශයින් තරඟකාරි ලෝකයක ආයෝජන මේ රටට ලබා ගැනීමට පුළුවන් වන්නේ විශ්වාසය ගොඩගා ගෙනයි . 19 වැනි සංශෝධනය නිසා සිදු වුණේ විශ්වාසය තහවුරු කරනවා වෙනුවට විශ්වාසය බින්දුවට බහින වැඩපිළිවෙෙළක් .

බල කේන්ද්‍ර දෙකක් එකිනෙක සමඟ නිරන්තරයෙන් ගැටෙන, ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, ආකල්ප සම්බන්ධයෙන් පුද්ගලයන් අතර තිබෙන විරසකය නිසා ඇත්ත වශයෙන් ආණ්ඩුවක් තිබුනේ නැහැ. තිබුනේ අරාජික තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ 19 වැනි සංශෝධනයෙන් උද්ගත වූ තත්ත්වය තුළ මේ රටට ආයෝජන සඳහා පැමිණීම ගැන නොහිතන තත්ත්වයක් ඇති වුණා. අගමැතිතුමාගේ කර්තව්‍යය ජනාධිපතිතුමාගේ කර්තව්‍යය සම්පුර්ණ අවුලක්. ප්‍රථමයෙන් යහපාලනය කියන ආණ්ඩුව යටතේ අගමැතිවරයා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළා.

ඒ අනුකමිටුව ඇත්ත වශයෙන් විකල්ප කැබිනට් මණ්ඩලයක් වුණා. තීරණ අරන් කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. මෙයින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා කිසිසේත්ම සෑහිමකට පත් වුණේ නැහැ. එවිට මේ ප්‍රශ්නය දිගින් දිගිටම නරක අතට හැරුණා. අවසානයේදී මෛත්‍රීපාල ජනාධිපතියරයා යම් කිසි තීරණයක් ගත්තා. ජනාධිපතිවරයා අගමැතිවරයාගේ කැබිනට් අනුකමිටුව අහෝසි කළා.

ඒ වෙනුවට වෙනම යාන්ත්‍රණයක් ආදේශ කළා. එතුමා වෙනුවෙන් ඒ වැඩකටයුතු බාර ගැනීමට සිරිසේන ජනාධිපතිවරයාට විශ්වාසය තිබෙන පුද්ගලයන්ව පත් කළා. පසුව සිරිසේන ජනාධිපතිතුමා කිව්වා එතුමාම පත්කළ අය පිළිබඳවත් විශ්වාසයක් නැහැ, ඒ පත්කළ පුද්ගලයා ලංකාවේත් නැහැ. ලක්ෂ පහක් විතර මාසික වැටුපක් ගන්නවා කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ පුද්ගලයාව අස්කරලා දැම්මා. දැන් මෙය දකින කිසිම ආයෝජකයෙක්, වටිනා ආයෝජකයෙක් ඇත්ත වශයෙන්ම මේ රටට මුල්‍ය සම්පත් ගේන්න පුළුවන් ආයෝජකයෙක් මේ රටට ආයෝජන ගේන්න කල්පනා කරනවද. විශ්වාසය ගොඩනගා ගැනීම වෙනුවට තිබෙන විශ්වාසයත් බින්දුවට බහින තත්ත්වයට පත් වුණා. ආර්ථිකය කඩා වැටුණා, ආයෝජන හිඳිලා ගියා, ආයෝජන සිහිනයක් වුණා.

19 වැනි සංශෝධනය නිසා ආරක්ෂාව පිළිබඳ ඇති වෙච්ච තත්ත්වය කුමක්ද? ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්නයි. ආණ්ඩුවේ විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයායි. ශ්‍රි ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තුන්වැනි හා හතර වැනි වගන්තිය අනුව රටේ ආරක්ෂාව විධායක බලය අන්තර්ගත කොටසක් වෙනවා. එය බාර වන්නේ ප්‍රමුඛ වශයෙන් ජනාධිපතියරයාටයි.

19 වැනි සංශෝධනය නිසා ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමැති වෙන්න බැහැ කියා තහනම් කළා. ඒකහරිද?. මේ රටේ ජනාධිපතිවරයා ආරක්ෂක අැමැතිවරයා විය යුතුයි. එය ඒ තුළින් ජනිත වූ බිහිසුණු ප්‍රතිඵල මේ රටේ ජනතාව ඇස් පනාපිට දැක්කා. ආරක්ෂක තත්ත්වයන් තුළදී ක්ෂණික ප්‍රතිචාර දක්වමින් හදිසි පනත් පනවා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. 19 වැනි සංශෝධනයෙන් එය අහෝසි කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නිතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පසුගිය 22 වැනි සෙනසුරාදායින් අවසන් වූ පැය 24 ඇතුළත අමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් 1170 දෙනෙක් කෝවිඩ් වසංගතය නිසා මරණයට පත්වී තිබෙනවා. බ්‍රසීලයේ ඒ පැය 24 තුළ 1031 දෙනෙක් , ඉන්දියාවේ 953 දෙනෙක් මරණයට පත්වී තිබෙනවා.

මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව හැටියට අපේ ආණ්ඩුව ඉතා විශිෂ්ට ආකාරයෙන් මේ වසංගත තත්ත්වය පාලනය කිරීමට සමත් වී තිබෙනවා. පසුගිය කාලයේ මැතිවරණය කල්දමන්න කියා සජිත් ප්‍රේමදාස මහතාත් අනුර කුමාර දිසානායක මහතාත් දැඩි සටනක් ගෙන ගියා. නමුත් මැතිවරණය හේතුවෙන් කිසිදු පුද්ගලයෙක් මරණයට පත්වු බවක් වාර්තා වුණේ නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළදමන්න කරපු උත්සහයක් අපිට මේ ජනතාවට කියන්න පුළුවන්. නමුත් අපි කෙරෙහි මේ රටේ බහුතර ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළා මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබලා. ඒ ගැන අප ජනතාවට ස්තූතිවන්ත වෙනවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය ඉන්දියානු මහ කොමසාරිස්වරයා මුණගැසී පළාත් සභා ඡන්දය පවත්වන්න කියා ඉල්ලීමක් කර තිබුණා. මේ පළාත් සභා ඡන්දය පවත්වන එක කල් දැමුනේ කොහොමද? දැනට අවුරුදු 3කට කලින් උතරු මැද, නැඟෙනහිර හා සබරගමුව කියන පළාත් සභා තුනේ කාලය අවසන් වීමට දින කිහිපයකයට කලින් එවකට පැවැති යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ හදිසි පනතක් සම්මත කර ගත්තා.

ඒ වේලාවේ පළාත් සභා ඡන්දය අවලංගු කිරීම සඳහා එවකට පැවැති ආණ්ඩුව තුනෙන් දෙකක පහුතර බලයක් ලබාගන්න අවශ්‍ය වූ විට එයට සහය දුන් එක් පාර්ශ්වයක් ලෙස ටී. එන්.ඒ. පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් එදා ඒ සංශෝධන ගෙන ආවේ මේ පළාත් සභා ඡන්දය පැවැත්වීම නතර කර දමන්නයි. මොකද ඒ ආණ්ඩුව ඡන්දවලට බය ආණ්ඩුව. ඒ අවස්ථාවේ සහාය දුන්නේ ටී.එන්.ඒ. සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණයි. ටී.එන්.ඒ. මෙම ඉල්ලීම කරන්න තිබුණේ මේ රටේ බහුතර ජනතාවකගේ මතයෙන් බලයට පැමිණී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් සහ අගැමැතිවරයාගෙන්. එලෙස ඉල්ලීමක් නොකර ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් මෙම ඉල්ලීම කරන්නේ ඇයි කියා අපිට තේරෙන්නේ නැහැ.

උතුරු- නැඟෙනහිර ජනතාවගෙන් සියයට 50ට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයට එරෙහිව බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පෙනීයනවා. මෙවන් තත්ත්වයක් යටතේ ද්‍රවිඩ ජාතික සන්ධානය මේ රටේ ජාතිවාදී තත්ත්වයන් ඇති කිරීමට මේ රට බෙදන්න ගෙන යන ක්‍රියාදාමයට දැන් දකුණේ ජනතාව පමණක් නොවේ දැන් උතුරේ ජනතාවත් විරුද්ධයි. ඒ නිසා මෙවැනි තත්ත්වයක් යටතේ කුමන හෝ ප්‍රශ්නයක් තිබේ නම් මේ රටේ ජනාධිපති – අගැමැති සමඟ මේ ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන්න කියා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − eight =