රුපියල් මිලියන 61 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රුපියල් මිලයන 61 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති දෙකක් ඊයේ (24) ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව හැදල – මරදාන පාර සහ ඇලකන්ද – බලගලවත්ත වටා පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම මෙලෙස ආරම්භ කෙරිණි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සදහා ජනතාව තුනෙන් දෙකක පැහැදිලි ජනවරමක් ලබා දී තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වඩා වේගවත් කිරීමේ අරමුණින් සෑම දවසකම ලංකාවේ කුමන හෝ ප්‍රදේශයක එක් මාර්ගයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, සෑම බ්‍රහස්පතින්දාවකම ගම්පහ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ(i-roads) බස්නාහිර පළාත තුළ කිලෝ මීටර් 7,000 ක් සංවර්ධනකටයුතු ආරම්භ කර තිබෙනවා. කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කිලෝ මීටර් 6,500 ක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.ග්‍රාමීය මාර්ග සංවර්ධනය තුළින් ග්‍රාමීය ජනතාවට ගමේ සිටම ආර්ථික ක්‍රියාවලියට දායක වීම සදහා අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ අරමුණයි. ඒ අනුව ප්‍රධාන මාර්ග වලට සම්බන්ධ වන සියළුම ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොළඹ වාණිජ නගරයට ඉතා ආසන්නතම නගරයක් ලෙස වත්තල නගරය පරිසර හිතකාමී ලෙස දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මාර්ග සංවර්ධනය පමණක් නොව ඇල මාර්ග, ගං වතුර පාලනය, මතුපිට කාණු පද්ධති ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් දියුණු කිරීම තුළින් වත්තලට අනන්‍ය වූ සංවර්ධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග හ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් මහතා, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු මහතා, ප්‍රාදේශීය දේශපාලඥයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුතුමිය ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *