විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 26,500ක් මෙරටට ගෙන්වා ගත්තා

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් ලෝකයේ රටවල් 105 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26,500 දෙනෙකු මේ වනවිට මෙරටට ගෙන්වාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, ජයනාත් කොළඹගේ මහතා අවධාරණය කරයි.

තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන් කරන ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙලෙස ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඒ අනුව ඔවුන් ඉදිරියේ දී පියවරෙන් පියවර මෙරටට ගෙන්වා ගන්නා බවද කියා සිටී.

ඒ අනුව ඊයේ (24) පෙරවරුව වනවිට ලෝකයේ රටවල් 105 කින් පමණ ශ්‍රී ලාංකිකයන් 26,500 ක් මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව තිබෙන බව සඳහන් කරන ජයනාත් කොළඹගේ මහතා මෙය ඉතා විශාල පිරිසක් බවද ලෝකයේ රටවල් අතරින් සියයට 65ක පමණ රටවල් සංඛ්‍යාවක සිටි ශ්‍රී ලංකිකයන් පිරිසක් මෙරටට ගෙන්වාගෙන තිබෙන බවද පෙන්වා දෙයි. ඊට අමතරව රටවල් කිහිපයක සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 3,000 ට වැඩි පිරිසක් දැනටමත් ගෙන්වාගෙන තිබෙන බවද කියා සිටී. රුසියාව, චීනය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසක් මෙලෙස ගෙන්වාගෙන සිටින බවද මේ කිසිවකු ප්‍රභූ අයගේ දරුවන් නොවන බවද අද වනවිට ඩුබායි සිට 3,000ක් පමණ පැමිණ තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ පිරිස ප්‍රභූන්ගේ කිසිවෙකු නොවන බවද ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් මෙලෙස ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සදහන් කරයි.

මේ අතර විදේශ රටවල් කිහිපයක රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 260 දෙනකු ඊයේ (24) අලුයම සහ පෙරේදා (23) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර බහරේනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 174 දෙනෙකු, ඉන්දියාවේ අහමදාබාද්හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනකු සහ දෝහා හි සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු මෙලෙස කටුනායක, බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

මේ සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරු නිරෝධායන මධයස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × three =