නායකයා සැප්තැම්බර් මුල එජාප කෘත්‍යාධිකාරිය තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා සැප්තැම්බර් මස මුල් සතියේදී තෝරා පත් කර ගැනීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (25) තීරණය කළේය.

පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්විණි. අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු අතර, පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නව නායකත්වය කෘත්‍යාධිකාරි මණ්ඩලය සැප්තැම්බර් මස රැස් වී තෝරා ගැනීමට එහිදී තීරණය විය.

නව නායකත්වය සඳහා හිටපු කථානායක කරු ජයසූරිය මහතා තෝරා පත් කර ගත යුතු බවට පක්ෂයේ උප නායක රවි කරුණානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහත්වරුන් එහිදී යෝජනා කර ඇති අතර, පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හෝ ජාතික විධායක සභාවේ නැති අයකු පක්ෂයේ තනතුරක් සඳහා තෝරා පත් කර ගත නොහැකි බවත්, කරු ජයසූරිය මහතා එහි සාමාජිකත්වය නොදරන හෙයින් පක්ෂයේ තනතුරක් සඳහා තෝරා පත් කර ගත නොහැකි බවත් එහිදී කරුණු ඉදිරිපත් විය. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුව විසැඳුණ අතරතුරම දැනට පක්ෂයේ තනතුරු කිහිපයක්ම පුරප්පාඩුව පවතින හෙයින් ඡන්දයක් නොපවත්වා සාකච්ඡා මාර්ගයෙන් තනතුරු පිරවීමට එහිදී තීරණය වී තිබේ. තනතුරු පිරවීම සඳහා ලබන සතියේ ක්‍රමවේදයක් සකස් කිරීමටද තීරණය විය.

එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටු ලේකම් නීතිඥ චමින්ද ජයසේකර මහතාගේ පත්වීම ස්ථිර කිරීම ද මෙහිදී සිදු විය.

සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ඉකුත් සතියේ දී ස්වාමීන් වහන්සේ කිහිප නමක් වැඩම කිරීමෙන් ඇති වූ තත්ත්වය ගැන ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

මේ අතර කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මහ මැතිවරණයට තරග කළ පුද්ගලයකු නම් කිරීමට යෝජනා වූ බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයකට පැමිණ නැති බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 6 =