සරසවිවලට වාර්ෂිකව තවත් සිසුන් 12,000ක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 12,000කින් වැඩි කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම්දී ඇතැයි අධ්‍යාපන ඇමැති මහ­ාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. මේ වනවිට විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගනු ලබන්නේ සිසු සිසුවියන් 31000 ක පමණ පිරිසක් පමණක් බවත් ජනපති යෝජනාවත් සමඟ එය 43000 දක්වා ඉහළ යනු ඇති බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මහනුවර ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය. විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් දැනට බඳවා ගන්නා සිසු පිරිසට අමතරව තවත් 7000 ක පිරිසක් බඳවා ගතහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව පවසා තිබුණත් ජනපති දැනුම් දී ඇත්තේ එය 12000 ක් දක්වා වැඩිකරන ලෙස බවද හෙතෙම අවධාරණය කළේය. උසස් පෙළ ඉහළින් සමත්ව විශ්ව විද්‍යාල වරම් අහිමිවන දරුවන්ට එම අවස්ථාව ලබාදීම රජයේ යුතුකම හා වගකීම බවද පීරිස් මහතා කීය.

විශ්ව විද්‍යාල වරම් නොලබන හා වරම් ලැබුවත් විශ්ව විද්‍යාලයට යෑමට අකමැති තවත් පිරිසක් සිටින බවත් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට විකල්ප මාර්ග සකසා දිය යුතුව තිබෙන බවත් කී ඒ මහතා වෘතතීය පුහුණු ආයතන වල පාඨමාලා උපාධි තත්ත්වය දක්වා ගුණාත්මක මට්ටමට ගෙන ඒම රජයේ අරමුණ බවද ප්‍රකාශ කළේය.

රටේ විද්‍යා පීඨ 19 ක් තිබෙන බවත් සෑම පළාතකම තාක්ෂණික දැනුම ලබාගත හැකි ආයතන ස්ථාපිතව ඇති බවත් හෙතෙම පැවසුවේය.

අධ්‍යාපන ආයතන වල පවත්නා යල්පැන ගිය ස්වරූපයේ පාඨමාලා කාලීන අවශ්‍යතාවන්ට අනුව වෙනස් විය යුතු බවත් පාසල් හා විශ්ව විද්‍යාල වල ලබාදෙන අධ්‍යාපනය රැකියා අවස්ථා ලබා ගැනීමේදී ප්‍රයෝජනවත් විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. අධ්‍යාපනය නවීකරණය කළ යුත්තේ චිරාත් කාලයක් රැකගත් සාරධර්ම වලට අනුකූලව බවත් රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිණිස ජනපතිවරයා මෙතෙක් ස්වාධීනව ක්‍රියාත්මක වූ අමාත්‍යාංශ පහක් ඒකාබද්ධ කර තිබෙන බවත් කී ඒ මහතා කැබිනට් ඇමැතිවරයෙකු සමඟ රාජ්‍ය ඇමැතිවරු සිව් දෙනෙකු ඒ සඳහා පත් කර තිබෙන බවද අවධාරණය කළේය.එම රාජ්‍ය ඇමැතිවරු සිව්දෙනා අතරින් මේවන විටත් තිදෙනෙකු පත් කර අවසන් යැයිද ඇමැතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *