අවුරුදු 15ක දැරියක් ගැබිනියක කර, පලා ගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – බස්රථයකදී හමු වූ තරුණයෙකු (අවු. 22) සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ගර්භනී භාවයට පත්වූ වයස අවුරුදු 15ක දැරියක් සම්බන්ධයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් මගින්, අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

2019 වසරේ ජූනි මාසයේ දිනක සිය දෙමව්පියන් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් නිවසින් පිටවූ දැරිය මහනුවර පදිංචි තම මාමාගේ නිවසට බස්රථයක නැගී යන අතරතුරදී, දැරියට මෙම තරුණයා මුණගැසී තිබේ. පසුව දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් ගොඩනැගී ඇති අතර, මෙම මුණගැසීමෙන් මසකට පමණ පසු අදාළ සැකකාර තරුණයා විසින් දැරියව දෙල්ගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබේ. ඉන්පසු, ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස දින කිහිපයක්ම ජීවත් වී ඇති අතර, පසුව මෙම දැරියව පිටකොටුව බස් නැවතුම්පලට ගෙනවිත් ඇරලවා තිබේ.

පසුව, ගර්භනී තත්ත්වයට පත්වී ඇති මෙම දැරිය, දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දියණියක් බිහි කර ඇති අතර, ඒ පිළිබඳව රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු සිදුකර තිබේ. එහිදී, මෙම සැකකාර තරුණයා සම්බන්ධ කිසිදු තොරතුරක් දැරිය විසින් දැන නොසිටි අතර, පසුව දැරිය වෙත දුරකථන ඇමතුම් ලබා දුන් දුරකථන අංකය ඔස්සේ පර්යේෂණ කටයුතු සිදු කොට තිබේ. එමගින් සොයාගත් තොරතුරුවලට අනුව, මෙම සැකකාර තරුණයා මුන්නේස්වරම් කෝවිල අසළ පළතුරු කඩයක රුකියාව කරමින් සිටින බව තහවුරු කරගෙන ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයට ගියද ඒ වනවිටත් සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් සිට ඇති අතර, පසුව වැඩිදුරටත් සිදු කළ විමර්ශන මගින් මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

මෙවැනි වරදක් සිදු කරනු ලබන තැනැත්තෙකුට 1995 අංක 22 දරණ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) වගන්ති අංක 364 (1) යටතේ, ස්ත්‍රී දූෂණය වරද සඳහා අවු. 7ට නොඅඩු 20ට නොවැඩි බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමක්, රු.20,000/= නොඉක්මවන දඩයක් හා වින්දිත ළමයාට වන්දි මුදලක් ගෙවීමට ද වගන්ති අංක 354 යටතේ, නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කිරීමේ වරද සඳහා අවු. 7ක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමක් හා දඩයක් ගෙවීමට ද සිදුවේ.

ළමයින් අනිවාර්ය අධ්‍යාපනය ලැබියයුතු වයස් සීමාව තුළ, අනිවාර්ය අධ්‍යපනය ලබා ගැනීම සඳහා ළමයින්ව යොමු කරන ලෙසත්, ළමයින්ගේ ක්‍රියාකාරකම්, ඔවුන් ඇසුරු කරන පුද්ගලයින් හා යන එන ස්ථානයන් පිළිබඳව නිරන්තරයෙන්ම වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් හා භාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *