ත්‍රස්තවාදයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පොලිසිය අතර සහයෝගීතාවය

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ සපයන ලද රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ තොගයක්‌ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්‌ ඬේවිඩ්‌ හොලි සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල්‌ රහස්‌ පොලිස්‌ අධිකාරී රොබ්‌ විල්සන්‌ යන මහත්වරුන්‌ විසින්‌ වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත බාර දෙයි.

අද පැවැති උපකරණ භාර දීමේ උත්සවය ඇමතූ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්‌ හොලි මහතා පැවසුවේ,”ගෝලීය ත්‍රස්තවාදයේ තර්ජන, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල බලපෑමට මුහුණදීමේ දී ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන්‌ කටයුතු කරන බවයි. රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ ලබා දීම අපරාධවලට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපෙළ සේවාවල යෙදී සිටින ශ්‍රී ලංකාවේ පොලිස්‌ නිලධාරීන්ට රුකුලක්‌ වනු ඇති අතර ශ්‍රී ලංකා පොලිසිය සහ ඔස්ට්‍රේලියා ෆෙඩරල්‌ පොලිසිය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය ද තවදුරටත්‌ තහවුරු වනු ඇත.

වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පැවසුවේ “ඕස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා රජය ආරම්භයේ සිටම සහයෝගීතාව හා මිත්‍රත්වයෙන්‌ දීර්ඝ කාලීන සම්බන්ධතාවයක්‌ පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල්‌ පොලිසිය අන්තර්‌ පොලිස්‌ සහයෝගීතාව, මෙහෙයුම්‌ හවුල්කාරිත්වය සහ වෘත්තීය ප්‍රමිතීන්‌ ඉහළ නැංවීම ආදී ක්ෂේත්‍ර ඔස්සේ මෙම සම්බන්ධතාවය තවදුරටත්‌ වැඩිදියුණු කර ගෙන ඇත. අනාගතයේ දී ශක්තිමත්‌ බැඳීමක්‌ හා හවුල්කාරිත්වයක්‌ සහතික කිරීම සඳහා අවකාශය සලසන මෙම වටිනා පරිත්‍යාගය පිළිබඳව මම ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්‌ව ඕස්ට්‍රේලියානු රජයට මෙන්ම එරට ෆෙඩරල්‌ පොලීසියට ද කෘතඥතා පූර්වක වනවා.” යනුවෙනි.

රසායනික හඳුනාගැනීමේ උපකරණ කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල්‌ පොලිසිය විසින්‌ පශ්චාත්‌ පිපිරුම්‌ අපරාධ ස්ථාන හා මත්ද්‍රව්‍ය පරීක්ෂණ පිළිබඳ පුහුණුවක්‌ ශ්‍රී ලංකා පොලිස්‌ නිලධාරීන්‌ වෙත ලබා දෙනු ඇත.

මෙම අතින්‌ ගෙන යා හැකි රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපාංගවල ප්‍රධාන ක්‍රියාකාරිත්වයන්‌ වන්නේ:

අතේ ගෙන යා හැකි, ජල ආරක්ෂිත සහ ක්ෂේත්‍රයේ භාවිත කිරීමට හැකි පරිදි නිර්මාණය තිබීම.

බහාලුම්‌ තුළ තිබියදී පවා ඝන සහ ද්‍රව වර්ග හඳුනා ගැනීමේ හැකියාව

පුළුල්‌ උෂ්ණත්ව පරාසයක හා විවිධ පරිසර තත්ත්වයන්‌ යටතේ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව

පුපුරණ ද්‍රව්‍ය, විෂ සහිත කාර්මික රසායනික ද්‍රව්‍ය, රසායනික යුධ අවි කාරක, මත්ද්‍රව්‍ය, රසායනික පුරෝධාවක (Precursors) සහ සුදුපැහැති කුඩු සොයා ගැනීමේ හැකියාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 10 =