කොරෝනා හේතුවෙන් දිවයිනට පැමිණි විගමණික ශ්‍රමිකයින්ගේ දත්ත රැස් කිරීමේ මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වසංගතයෙන් පසු මෙරටට පැමිණි විගමණික ශ්‍රමිකයින් පිළිබඳව නිවැරදි තොරතුරු මේ වන විටත් නොමැති බැවින් එම තොරතුරු එක් රැස් කිරීමේ වැඩසටහන් කාර්යාලයක් කම්කරු අමාත්‍යාංශයේ පිහිටුවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කරයි. ඒ සඳහා තාක්ෂණික ආධාර ලබාදීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය එකගතාවය පළකළේය.

සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා වන ප්‍රධානි සරට් ධාෂ් මහතා (Sarat Dash) සමග පසුගියදා (31) කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි.

එම දත්ත සහ තොරතුරු පදනම් කර ගනිමින් මෙම විගමනික ශ්‍රමිකයින්ට අහිමි වූ රැකියා සහ රැකියා අහිමිවීම වෙනුවෙන් යම් සහන සහ ආධාර වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා තම සංවිධානයට ද ජාත්‍යන්තර වශයෙන් යම් මැදිහත්වීමක් සිදුකළ හැකි බව IOM සංවිධානය පැවසීය.

එසේම දැනට ලංකාව, කොරියාව ඇතුළු රටවල් රැසකට ශ්‍රමිකයින් යැවීම සඳහා රජයේ සහ පෞද්ගලික ආයතන විවිධ පුහුණුවීම් සිදුකරයි. ඒ සඳහා විශාල මුදලක් වැයකර රැකියා අපේක්ෂිතයින් සහභාගි වේ. නමුත් පවතින කොරෝනා වසංගත තත්වය නිසා බොහෝ රටවල් විදෙස් ශ්‍රමිකයින් ඒ රටවල වෘත්තීන් සඳහා ගැනීමට මැලිකමක් දක්වන බැවින්, මෙම පුහුණුවීම් ඵලදායි නොවන තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ද ඒ ඒ රටවල් සමග තානාපති මට්ටමින් සාකච්ඡා කරන බවද ඇමතිවරයා මෙහිදී පැවසීය.

එසේම මෙම සාකච්ඡාවේදී IOM සංවිධානයේ මෙරට ප්‍රධානී සරට් ධාෂ් මහතා ප්‍රකාශ කළේ, IOM සංවිධානය මේ වන විට, රුපියල් මිලියන 45ක් වටිනා කොරෝනා රෝග නිශ්චය යන්ත්‍ර හා උපකරණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලට ලබා දී ඇති බවයි. එසේම ඉදිරි දින කිහිපය තුළදී දිනකට PCR පරික්ෂණ 1000ක් කළ හැකි අංග සම්පූර්ණ රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපොලට ලබා දෙන බවද සාකච්ඡාවට එක් වූ IOM සංවිධානයේ නියෝජිතයෝ පැවසූහ.

එසේ PCR පරික්ෂණ සඳහා පහසුකම් සම්පාදනය කළද, එම පරික්ෂණ කර ගුවන් තොටුපොලෙන් පිටකරන අය නිරෝධායනය සඳහා යොමු කිරීමට ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැතිවීම ගැටළුවක් බවද, නැවත ලංකාවට පැමිණිමට අපේක්ෂා කරන විදෙස්ගත අය 45,000 මෙරටට ගෙන්වා ගැනීමට සෑහෙන කාලයක් ගතවනු ඇතැයි ද මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරිණ.

එසේම විගමනික ශ්‍රමිකයින් මෙරටට එවීම සඳහා අදාළ රටවල PCR පරික්ෂණ සඳහා සහ නිරෝධායනය සඳහා ඇති පහසුකම් අවම වීම නිසා ද මෙම ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අඩාල වී ඇත. එම නිසා සමහර රටවලට ශ්‍රමිකයින් යැවීම ද මේ නිසා ගැටළුවක් බවට පත්වී ඇත.

එම නිසා ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා මෙරට ශ්‍රමිකයින් බහුලව සිටින රටවල තානාපතිවරු, විදෙස් රැකියා නියෝජිතයින් සහ IOM සංවිධානයේ ප්‍රධානීන් සමග කඩිනමින් සාකච්ඡා කරන බව ද ඇමතිවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 4 =