යුද හමුදාපතිගෙන් මතක් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අඛණ්ඩව දැඩි ලෙස පිළිපදින ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගත වු පැය 48 තුල විදේශයන්හි සිට පැමිණි කොවිඩ් 19 ආසාධිතයින් 80 ක් හමු වී ඇති බවත් මේ වන විට (02) කොවිඩ් 19 ආසාධිත විදේශ රටවලින් පැමිණි මුලු සංඛ්‍යාව 1188 දෙනෙකු වන අතර එයට විදේශිකයින් 42 ක් සහ ශ්‍රී ලංකීකයන් 1146 දෙනෙකු ඇතුලත් වන බවත්, තවදුරටත් විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් 182 දෙදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සමාජය තුල තවදුරටත් කොවිඩ් 19 වෛරස ආසාධිතයන් අප්‍රේල් 30 වන දින සිට වාර්තා නොවන අවස්ථාවක විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ අත්‍යාවශ්‍ය කටයුතු සදහා පැමිණෙන විදේශිකයින්ගෙන් කොවිඩ් 19 වෛරසය දිවයින තුලට පැමිණෙන බව පෙනී යන කරුණකි. ශ්‍රි ලංකාව කොවිඩ් 19 විධිමත් ක්‍රියාදාමයක් තුල පාලනය කල ආදර්ශමත් රටක් වශයෙන් ලෝකයට පෙන්වා දී ඇත. එවැනි අවධියක අප විසින් තවදුරටත් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් වන මුඛ ආවරණ පැලදීම, පුද්ගල දුරස්ථභාවය, නිතර නිතර අත්සේදීම සහ කිවිසුම් යන විට රෙදි කැබැල්ලක් හෝ වැලමිට බාහුවෙන් නාසය සහ මුඛය ආවරණය කර ගැනීම වැනි කරුණු වලට අනුගත විය යුතු බවට තවදුරටත් අවධාරණය කර සිටියි.

විශේෂයෙන්ම දිවයින පුරා ඇති පාසල් වල සියලුම පන්ති ආරම්භ කිරිමත් සමග මේ සබැදිව විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලය මගින් පාසල් ළමුන් දැනුවත් කර දෙමව්පියන් සමග එක්ව සෞඛ්‍යය උපදෙස් පිළිපැදීම අනිවාර්ය අංගයක් සේ සලකා පාසල තුල සහ ඉන් පිටතදී කටයුතු කල යුතු බව වැඩි දුරටත් පවසා ඇත.

එසේම කොවිඩ් 19 පාලනය කල තම රට නැවත අනාරක්ෂිත වීම වැලැක්වීම සදහා සෑම ශ්‍රී ලාංකීකයෙකුම තවදුරටත් ක්‍රියාකල යුතු බවත් කොවිඩ් 19 වෛරසයට ගොදුරු නොවී සිටීම සදහා තම සමාජ යුතුකම හා වගකීම නිසි ලෙස ඉටුකල යුතු බවත් අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *