ගැඹුරින් සිතා බලා කළ පත්වීම් බලපෑම් හමුවේ වෙනස් කිරීමට අදහසක් නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මෑතකදී රජය විසින් ගැඹුරින් සිතාබලා සිදු කළ පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) අවධාරණය කළේය.

එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටියේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

මෑතකදී ජනාධිපතිතුමා සහ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතින බවත් මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බැලීමෙන් පසු බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයන්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයන් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායකවන්නැයි ජනාධිපතිතුමා පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටි අතර රාජ්‍ය සේවයට වැටුප් උපයාදෙන කෘෂි සහ ධීවර වැනි කේෂ්ත්‍රවල නිරත ජනතාවට බරක් නොවී තමන් ලබන වැටුපට සාධරණය ඉටුකරන්නැයි අවධාරණය කළේය.

තම වෘත්තීයේ ඉදිරි ගමන උදෙසා පශ්චාත් උපාධි, පරිගණක පුහුණුව සහ ආදාළ කේෂ්ත්‍රවල වෙනත් රැකියා අවස්ථා දියුණු කර ගැනීම පත්වීම්ලාභීන්ගේ වගකීමක් බව ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඊයේ සිට රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ වෙති. රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172 කි. උපාධිලාභීන් වර්ගීකරණයේදී අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ බාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.

සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161ක්, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.

නව පත්විම්ලාභීහූ සියලු දෙනා නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කෙරෙති. වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 8 =