මහජන දිනයේ දී ඇමතිවරු – රජයේ නිලධාරීන් අමාත්‍යංශයේ සිටීම අනිවාර්ය කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍යංශවල මහජන දිනය වශයෙන් වෙන් කර ඇති බදාදා දිනයේදී, අදාල ඇමතිවරුන් ,රාජ්‍ය ඇමතිවරුන් ,සහ අමාත්‍යංශ මෙන්ම අමාත්‍යංශ අනුබද්ධ ආයතනවල නිළධාරින් වෙනත් කටයුතු සඳහා බැහැර නොයන ලෙස ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී තිබේ.

එමෙන්ම බදාදා දිනයේදී අමාත්‍යංශයේ හෝ වෙනත් අයතන තුළ රැස්වීම්, සම්මන්ත්‍රණ කිසිවක් යොදා නොගන්නා ලෙස සියලුම නිළධාරින්ට උපදෙස් ලබා දෙමින් අමාත්‍යංශ ලේකම්වරයා හරහා චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ඇමැතිවරුන්වෙත අවධාරණය කර ඇත.

තම ගැටලු විසඳා ගැනීම සඳහා ඉතා දුර බැහැර සිට කොළඹට පැමිණෙන ජනතාවට එක් දිනක් තුළ අදාල සේවාව කාර්යක්ෂමව ඉටු කර දීම සැමගේ වගකීම බැවින් මෙම උපදෙස් ජනාධීපතිවරයා විසින් ලබා දුන් බව අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැවිලි ඇමති සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

රාජ්‍ය නිළධාරින් බදාදා දිනවල විවිධ රැස්වීම් ,උත්සව යොදා ගැනීම නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ,ඔවුන් මහජන දිනයේදී රැගෙන එන ගැටලු සඳහා විසඳුම් ලබා දීම දුෂ්කර වී ඇති බවත් ,මේ නිසා ඉතා දුර බැහැර සිට පැමිණෙන ජනතාව හිස් අතින් යන අවස්ථා වන බව ඇමැතිවරුන්ද ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව මේ උපදෙස් ජනාධීපතිවරයා විසින් ලබා දී ඇති බවද ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී අවධාරණය කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *