කහ-ගම්මිරිස්වලට ස්ථාවර මිලක් ලබා දී වගාකරුවන් රැකගත යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබාදී වගාකරුවන් රැකගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) අවධාරණය කෙළේය.

උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව ජනාධිපති කාර්යාලයේ ඊයේ (03) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ සඳහන්ළේය.

කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත්, විධිමත් සැලසුම් සැකසීම ගැන දීර්ඝව මෙහිදී සාකච්ඡා කෙරිණි.

කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කළ පැවැසූ ජනාධිපතිවරයා අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මඟින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

පාකිස්ථානය මෙරට බුලත්වල ප්‍රධාන ගැණුම්කරු බවත් කොවිඩ් වසංගතයත් සමඟ ගුවන් ගමන් වාර සීමාවීම නිසා අපනයනය පහත වැටී ඇති හෙයින් ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර ඊට විසදුම් සොයන්නැයි ජනාධිපති රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරිමේ වැදගත්කම ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල මඟින් සුළු අපනයන භෝග ආශ්‍රිත අගය එකතු කිරිමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙළේය.

මෙරට වාර්ෂික බඩ ඉරිගු ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05කි. එය සපුරා ගැනීමට වගා කළයුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක් වේ. දැනට හෙක්ටයාර 80,000ක බඩ ඉරිගු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම ආණ්ඩුවේ අරමුණයි.

ගම්මාන 100ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහ හැතැම්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

උක් කර්මාන්තයේ සහ කජු වගාවේ ප්‍රවර්ධනය පිළිබඳවත් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඇමැති රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු හා කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන නිලධාරීහු සහ වගා සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 13 =