තිරසර කෘෂිකර්මාන්තයට ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC 35) වන සැසිවාරය අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම් ඇතුළු නවෝත්පාදන තුළින් තිරසර කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය

කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණයන් හා නව්‍යකරණයන් සඳහා ප‍්‍රවේශවීමේ අවස්ථා සැලසීම හා ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍ය බව ඔහු තවදුරටත් පැවසීය. ශක්තිමත් ආහාර පද්ධති ගොඩනැගීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දියහැකි ලෙස කෘෂිකාර්මික අංශයේ අනුවර්තන ධාරිතාව ඉහළ නැංවීම හා ස්වාභාවික සම්පත් නැණවත් ලෙස භාවිතා කිරීම ප‍්‍රවර්ධනය කිරීම ද අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය සමුළුවේ ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරණ අළුත්ගමගේ මහතා, 1948 දී ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සාමාජික රටක් බවට පත්වූ දා සිට ශ‍්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ( FAO) අතර පවත්නා ශක්තිමත් හවුල්කාරිත්වය මහත් අගය කිරීමට ලක්කළේය. ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය යැපුම් ජීවනෝපාය උප අංශයක සිට ජාතික ආර්ථිකයේ වැදගත් කුළුණක් වන ගතික ආදායම් උපයන නිෂ්පාදන අංශයක් බවට පරිවර්තනය කිරීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙහි තාක්ෂණික හා උපදේශන සහාය රටට ඉමහත් උපකාරයක් වී ඇති බව ඔහු ප‍්‍රකාශ කළේය.

සුළු පරිමාන ගොවීන්ගේ ලාභ ආන්තිකය ප‍්‍රමාණවත් නොවීම, වගාකරුවන් සඳහා නිසි රක්ෂණ ක‍්‍රමයක් නොතිබීම, කෘෂි රසායනික කළමනාණකරයේ පවත්නා අසන්තුලිතතාවයන් සහ කෘෂිකාර්මික වගා කන්නයන් වෙනස්වීම් පිළිබඳව අනාවැකි පුරෝකථනයන් කීරීමට නොහැකිවීම වැනි කෘෂිකාර්මික අංශය තුළ වර්තමානයේ මුහුණ දීමට සිදු වී තිබෙන ගැටළු පිළිබඳව ශ‍්‍රී ලංකා දූත පිරිස අවධානය යොමු කළහ. මෙම ක්ෂේත‍්‍රයන්හි තාක්ෂණික, ප‍්‍රතිපත්තිමය සහ අනකුත් වැඩසටහන් සඳහා ලෝක ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ අඛණ්ඩව සහයෝගය මෙහිදී අපේක්ෂා කරන ලදී.

ආසියානු පැසිෆික් කලාපීය සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කු ඩොන්ග්-යු මහතා කියාසිටියේ ජාතික රජයන්, ගොවීන්, පෞද්ගලික අංශය, බුද්ධිමතුන්, රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙකුත් බොහෝ පාර්ශවයන් සමඟ නවෝත්පාදක හවුල්කාරිත්වයක් තුළින් ඩිජිටල් යුගයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට කාලය පැමිණ ඇති බවයි.

මෙම හවුල්කාරිත්වයන් සක‍්‍රීය හා ශක්තිමත් කිරීමට ලෝක ආහාර සහ කෘෂිකර්මක සංවිධානය ක‍්‍රියාකරණු ලබයි.
සාක්ෂි පදනම් කරගත්, අදාළ රට විසින් එහි සන්ධර්භයට ගැලපෙන පරිදි මෙහෙයවනු ලබන සහ හිමිකාරිත්වය දරණ මෙම ක‍්‍රියාමාර්ග මගින් දරිද්‍රතාවය, කුසගින්න සහ සියලූම ආකාරයේ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පරිවර්තනයක් සහ තිරසර ග‍්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගනියි.

”රටේ ජාතික ධාරිතාව සහ අදාළ රටට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය සීමාසහිත තත්වයක පවත්නා හෝ ස්වාභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද අර්බුද ඇතුළුව විශාල වශයෙන් අභියෝගයන්ට මුහුණදෙන රටවල් සඳහා මෙම වැඩසටහන් වලදී ප‍්‍රමුඛතාවය ලබාදෙනවා” යැයි ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තුමා පැවසීය.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපය සඳහා වන කලාපීය සමුළුව (APRC) යනු මෙම කළාපයේ රටවල්වල සහ කලාපයේ වර්තමාන ප‍්‍රමුඛතා අවශ්‍යතා සහ COVID-19 හි බලපෑම, කෘෂිකර්මාන්තයේ තත්ත්වය, ස්වාභාවික සම්පත් කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැනි කලාපයේ දැවෙන ගැටලූ සාකච්ඡුා කිරීමේ සංසදයයි. කලාපය පුරා ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැඩිදියුණුකිරීමට උපකාරීවන හවුල්කාරිත්වයන්, නවෝත්පාදන සහ ඩිජිටල් තාක්ෂණයන් මෙන්ම කලාපීය හා ගෝලීය ප‍්‍රතිපත්ති සහ නියාමනය පිළිබඳ කරුණු ඉස්මතු කිරීමට ද මෙය මහගු අවස්ථාවක් සපයනු ලබයි.

කොවිඞ් 19 වසංගතය සහ ඒ හා සම්බන්ධ මහජන සෞඛ්‍ය ගැටලූ ගණනාවක් පවතින වාතාවරණයකදී මාර්ගගත වීඩියෝ සම්මන්ත‍්‍රණ මගින් සැප්තැම්බර් 1 වන දින ආරම්භ කර දින හතරක් පුරා පැවැත්වුණු මෙම සමුළුවට මෙම වසරේ සාමාජික රටවල් 46 ක රටවල නියෝජිතයින් සහභාගී වූහ. රාජකීය භූතාන රජය විසින් පවත්වන ලද ආසියානු පැසිෆික් කලාපීය රැස්වීමට නියෝජිතයින් 400 කට වැඩිපිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *