MT New Diamond ගින්න ගැන අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ගිනිගෙන අනතුරට පත්වී ඇති MT-New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රිය ඇතුළු පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රමුඛ අදාළ බලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා ලබා දුන් උපදෙස් අනුව මේ වන විට ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු උපදෙස් මත සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ තෙල් නෞකාවෙන් අප සමුද්‍රිය ඇතුළු පරිසරයට විය හැකිහානි වලක්වා ගැනීමේ සියලූ සම්බන්ධීකරණ කටයුතු මේවන විටත්සිදු කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා කියයි.

දැනට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ මුලික මැදිහත් වීමෙන් (MEPA) හා සිද්ධි කළමනාකරණ කණ්ඩායම (IMT), වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, පරිසර අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව ඇතුළු ආයතන 15 ක් ඒකාබද්ධව ආරක්ෂණ වැඩසටහනක්ද සිදුකරමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *