අපනයන කඩිනම් කිරීමට ගුවන්තොටුපළට තවත් ස්කෑනර් යන්ත්‍ර

(කොළඹ, ලංකාපුවත්) – අපනයනකරුවන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව අපනයන භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තවත් ස්කෑනර් යන්ත්‍ර කිහිපයක් සවි කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ(06) ගුවන් තොටුපල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යංශ පරිශ්‍රයේදී අපනයනකරුවන් සහ අපනයන ක්ෂේත්‍රයේ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

භාණ්ඩ ආනයන ක්‍රියාවලිය විධිමත් කිරීම සහ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.

අපනයනකරුවන් තම අපනයන බාධාවකින් තොරව කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා ගුවන් තොටුපළට ඇතුළු වන විට ප්‍රමාණවත් ස්කෑනර් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන්, අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. අපනයන භාණ්ඩවල ගුණාත්මකභාවය අඩු වුවහොත් ඔවුන්ට විශාල අලාභයක් සිදුවිය හැකි බව ඔවුහු අවධාරණය කළහ.

ගුවන්තොටුපල පිවිසුම ඇතුළුව සහ ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකක ප්‍රමාණවත් ස්කෑනර් හා නිලධාරීන් සවි කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *