සෙලින්කෝ ලයිෆ් අනුරාධපුරයේ සහ යාපනයේ විශාල සූර්ය බලශක්ති ව්‍යාපෘති වලට ආයෝජනය කරයි

(කොළඹ, ලංකාපුවත්) –සෙලින්කෝ ලයිෆ් සමාගම වසරකට පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ටොන් 42.6 කින් අඩුකර ගනිමින් වසරකට මොගාවොට් 120 ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි මහා පරිමාණයේ සූර්ය පැනල පද්ධති දෙකක් අනුරාධපුරයේ සහ යාපනයේ ආරම්භ කර තිබෙන අතර මේවා මෙම දිස්ත‍්‍රික්ක දෙක තුළ තිබෙන විශාලතම සූර්ය පැනල පද්ධති වේ.

අනුරාධපුරයේ තිබෙන පද්ධතියේ කිලෝවොට් 50 ක ධාරිතාවයක් තිබෙන බවත් මෙයින් වාර්ෂිකව මෙගාවොට් 66 ක් ජනිත කිරීමට බලාපොරොත්තු වන බව සමාගම සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය සෙලින්කෝ ලයිෆ් විසින් ආරම්භ කළ දෙවැනි විශාලතම සූර්ය පැනල පද්ධතිය වන අතර මේ තුළින් සමාගම ජාතික විදුලිබල පද්ධතියෙන් වසරකට ලබාගන්නා විදුලි ඒකක ප‍්‍රමාණය 66,000 කින් අඩුකර ගැනීමට හැකි වේ. ඒ තුළින් සමාගම වසරකට පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ටොන් 23.4 කින් අඩුකර ගැනීමට හැකියාව ලැබේ.

කිලෝවොට් 40 ක ධාරිතාවයකින් යුක්ත වන සමාගමේ යාපනයේ සූර්ය පැනල පද්ධතිය මගින් වසරකට මෙගාවොට් 54 ක් ජනනය කරන අතර සමාගම වසරකට ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගන්නා විදුලිය ඒකක 54,000 ක් ලබා නොගැනීමට සමාගමට මේ තුළින් අවස්ථාව හිමිවේ. මේ තුළින් සමාගම වසරකට පරිසරයට මුදා හරින කාබන්ඩයොක්සයිඞ් ටොන් 19.2 ක් පරිසරයට එකතුවීම වලක්වාගත හැකිවේ. මෙය සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන සූර්ය පැනල පද්ධති වලින් පස්වෙනියට විශාලතම පද්ධතිය වේ.

මෙම සූර්ය පැනල පද්ධති සඳහා රුපියල් මිලියන 15.9 ක් ආයෝජනය කර තිබෙන අතර සමාගමේ නව මූලස්ථාන ගොඩනැගිල්ලේ 2016 වසරේදී සවිකළ කිලෝවොට් 63.18 ක පද්ධති ධාරිතාවයකින් යුක්ත වන සූර්ය පැනල පද්ධතිය සමාගමේ විශාලතම සූර්ය පැනල පද්ධතිය වේ. මෙමගින් සමාගම ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගන්නා විදුලිය ඒකක 7,200 ක් මාසිකව ඉතිරි කරගන්නා අතර ඒ තුළින් සමාගම පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ටොන් 108 කින් අඩුකිරීමට සමත්වී ඇත.

තිරසාරත්වය ආරක්ෂාකර ගැනීමට කැපවී සිටින සෙලින්කෝ ලයිෆ් විසින් තමන්ටම අයත් ඉඩම්වල හරිත ශාඛා ජාලයක් ගොඩනැගීමට මේ වනවිට කටයුතු කර තිබේ. මෙම නව ගොඩනැගිලිවල සූර්ය බලශක්තිය, වැසි වතුර එක් රැස්කිරීමේ පහසුකම්, පයිප්ප වතුර පරිභෝජනය අඩුකිරීමට සමත් වන අපජලය පිරිපහදු කිරීමේ පද්ධති, ස්වභාවික ආලෝකය උපරිම වශයෙන් ලබාගන්නා සැලසුම්, බලශක්ති කාර්යක්ෂම විදුලි ආලෝකකරණ සහ වායු සමීකරණ පද්ධති ඇතුළත් වේ.

සමාගම විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පුත්තලමේ පිහිටි හෙක්ටයාර් පනහක (අක්කර 123.5 ක) භූමි භාගයක් යථාතත්ත්වයට පත්කරමින් නඩත්තු කරනු ලබයි. මේ සඳහා කැළණිය විශ්ව විද්‍යාලය එක්වී සිටින අතර සමාගමේ මෙහෙයුම් වලින් පරිසරයට කිසිදු කාබන් ප‍්‍රමාණයක් යොමු නොකිරීම කරා ලංවීම මෙහි අරමුණකි.
මේ වසරේ මුල් කාලයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත සමාජය විසින් ඊ-අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ දිනයක් සංවිධානය කර තිබුණි. මේ තුළින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය රාත්තල් 11,123 කින් අඩුකිරීමට සමාගම සමත්වූ අතර එය ගස් 369 ක් ආරක්ෂා කිරීමට හෝ ප්ලාස්ටික් බෝතල් 12,990 ක් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට සමාන වේ.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 හි දෙවන අර්ධය පුරා මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වටිනාම ජීවිත රක්ෂණ සන්නාමය ලෙසත් ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසත් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍ර විය. එසේම, 2019 වසරේදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශී‍්‍ර ලංකා ශාඛාව විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලැයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලද අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නවෝත්පාදනය, නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ මිනුම් ලකුණක් ලෙසට පිළිගැනීමට ලක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *