MT New Diamond ගින්න යළි ඇවිළේ

(කොළඹ, ලංකාපුවත්) –ආපදාවට පත් වූ නෞකාව රඳවා තබාගෙන සිටින සංගමන්කන්ද තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ හටගත් අධික සුළං තත්ත්වය නිසා නෞකාවේ අභ්‍යන්තරයේ පැවති ගිනි පුපුරු ඊයේ (07) නැවත සක්‍රීය තත්වයට පැමිණ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙරේදා (06) දින පස්වරු 3.00 පමණ වන විට පාලනය කර ගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් සමත් වීමෙන් පසු නෞකාවේ අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුවෙන් පාලනය කරන ලද ගින්න නැවත ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් ආපදා කළමනාකරණ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලදි. නමුත් අධික සුළං හේතුවෙන් නැව පතුලේ තිබූ ගිනි පුපුරු අධික සුළං සමඟ සක්‍රීය වී නැවත ගින්න ඇති වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්වකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා යොදා ගනිමින් මේ වන විට නැවත ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *