NEW DIAMOND නෞකාවේ යළි ඇති වූ ගින්න පාලනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව නාවික හමුදාව පවසයි.

ගුවන් හමුදාවේ යානා දෙකක්ද මෙහෙයුමේ සහායට එක් කිරීමට පියවර ගෙන ඇත.

නිව් ඩයමන්ඩ් නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 28 ක් දුරින් ගැඹුරු මුහුදේ ස්ථානගතව පවතින අතර එහි යළි ගිනි ගැනීම් තත්ත්වයක් ඇතිවූයේ ඊයේ පස්වරුවේය. අධික සුළඟ හා නෞකාවේ ලෝහ මත පවතින උෂ්ණත්වය මෙම ගින්න හට ගැනීමට හේතුවිය.

නාවික හමුදාවේ නෞකා 09ක් හා ටග් යාත්‍රා 5 ක් ගින්න නිවීම සඳහා යෙදවූ අතර ගුවන් හමුදාවේ යානා දෙකක් ද ඒ සඳහා සහාය දක්වමින් මෙහෙයුම එක්කර තිබුණි. ගුවන් හමුදාවේ බීච් කිංග් 200 හා සැහැල් ප්‍රවාහන ගුවන් බලගනයට අයත් වයි 12 යානයක් මෙසේ මෙහෙයුමට එක්කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

වෙරළාරක්ෂණ දෙපාර්තමේන්තුව , ඉන්දීය නාවික හමුදාව හා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද මෙහෙයුමේ පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරනු ලැබේ. නෞකාවේ යළි හටගත් ගින්න මෙහෙයුම මඟින් මේ වනවිට පාලනය කර ඇති බවයි නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *