ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හා අගමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා (07) පැවැත්විණි.

2020 මහ මැතිවරණ ජයග්‍රහණය සහ යළි අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු කොමසාරිස්වරයා මහින්ද රාජපක්ෂ මහතා ට සුභ පැතුම් එක්ළේය.

ඕස්ට්‍රේලියානු රජය විසින් පුද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල (PPE) ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමක් ද සිදුව ඇති අතර, කොවිඩ් වසංගත තත්ත්වයට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කොමසාරිස්වරයාට සිය ස්තූතිය පළ කර තිබේ.

එමෙන්ම වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් ශක්තිමත් සහයෝගයට ස්තූතිය පුද කිරීමට ද අග්‍රාමත්‍යතුමා එය අවස්ථාවක් කර ගත්තේය.

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පසුගිය මැතිවරණ ජයග්‍රහණය සඳහා සුභ පැතීමට තමාට ලබා දුන් දුරකථන ඇමතුමට ස්තූති කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, COVID-19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මොරිසන් මහතාට කළ ආරාධනාව සිහිපත් කළේය.

නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමා, කෘෂිකාර්මික අංශය සහ සියලු පුරවැසියන්ට ආරක්ෂිත පානීය ජලය සැපයීමේ රජයේ ඉදිරි සැලැස්ම පිළිබඳව අවධාරණය කළේය. නිදන්ගත වකුගඩු රෝගය (CKD) දෙරටේ ජනගහනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව ද මෙහිදී දෙරටේ නියෝජිතයින් අවධානය යොමු කළ බවට සඳහන්.

ඕස්ට්‍රේලියානුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු මෙම රෝගයෙන් පෙළෙන බවයි මහකොමසාරිස් හොලි මහතා පෙන්වා දුන්නේ.

අධ්‍යාපන, වෘත්තීය පුහුණුව සහ පශු සම්පත් අංශ මෙන්ම ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම ඇතුළු දෙරටේ සහයෝගීතාව වර්ධනය වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡා කරන ලදී.

“අපගේ සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ,” ඕස්ට්‍රේලියාව “ශ්‍රී ලංකාව ප්‍රවාහන මධ්‍යස්ථානයක් සහ ප්‍රධාන වෙළඳපොළ කේන්ද්‍රස්ථානයක් ලෙස දැකීමට කැමති” යැයි මහ කොමසාරිස් හොලි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *