වැව් 5,000ක් ප්‍රතිසංස්කරණය කරන්න

(කොළඹ, ලංකාපුවත්) – රට පුරා වැව් 5,000ක් පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදය භාවිත කරමින් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (09) පැවැති සාකච්ඡාවට එක්වෙමින් උපදෙස් දුන්නේය.

වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බළකායේ සහාය ලබාගැනීමට නියමිත අතර පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහනත් මීට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. මීට පෙර ක්‍රියාත්මක කෙරුණු වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය විද්වතුන්ගේ සහ ජනතාවගේ බලවත් දෝෂ දර්ශනයට ලක් වූයේ වැව් හාරා ගැඹුරු කළත් ජලය රඳවා තබාගැනීමේ පුරාණ තාක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද භාවිත නොකිරීම බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් එවැනි අඩු පාඩු මඟ හරිමින් පොදු නිර්ණායකයක් යටතේ ඒ ඒ ප්‍රදේශවලට සහ වැව්වලට ආවේණික ක්‍රමයකට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය. වැව් ගොඩවීමෙන් ඒවායේ ධාරිතාව අඩු වී තිබෙන අතර ඉවුරු කැඩී ගිය වැව් විශාල සංඛ්‍යාවක් ඇති බවත් මහ කන්නය ඉලක්ක කොට ගෙන ඒවා කඩිනමින් පිළිසකර කළ යුතු බවත් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කුඹුරු වගාව සඳහා පමණක් නොව පානීය ජල සම්පාදනය හා සෙසු වාරි අවශ්‍යතා සපුරාලීමට ද වැව් ජලය භාවිත කිරීමේ හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වාරි මාර්ග පද්ධතියෙන් නඩත්තුවන කෘෂි ඉඩම් පරිහරණ රටාවක් පිළිබඳ ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සමීක්ෂණයක් කර ඇත. ඉන් අනාවරණය වූ තොරතුරු පදනම් කර ගනිමින් මනා ජල කළමනාකරණයක් ඇතිව මැද කන්න සහ අතුරු කන්නවලදී හඳුනාගත් කෘෂි බෝග 17ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.

වැව් ප්‍රතිසංස්කරණය, වැව් ආශ්‍රිත කර්මාන්ත ආරක්ෂාවන අයුරින් කළයුතු අතර අනුබද්ධ ආයතන සහ ගොවි සංවිධාන සමඟ එකඟතාවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැව් ප්‍රතිසංස්කරණයට සමගාමීව ඇළ වේලි ඇතුළු වාරි පද්ධතිය ද ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

නව කෘෂි තාක්ෂණය හඳුන්වා දෙමින් තරුණ ව්‍යවසායකයන් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කළ “තරුණ ගොවි සෞභාග්‍යා, කාබනික ගොවිපල වැඩසටහන” ද මෙහිදී විමර්ශනය කෙරිණ. මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 5000ක් ආවරණය වන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයට එකඟත්වය පළ විය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන්, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ගොවි සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 14 =