ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වායුගෝලීය ගුණාත්මක බවින් ඉහළම රටක් ලෙස නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –කීර්තිමත් අමෙරිකානු විශ්ව විද්‍යාල දෙකක් වන යේල් සහ කොළොම්බියා සරසවිවල පර්යේෂකයින් නිකුත් කරන ලද 2020 පාරිසරික කාර්යසාධන දර්ශකයට අනුව සියලු දකුණු ආසියානු රටවල් අභිභවා ඉහළ ම වායුගෝලීය ගුණාත්මකතාවක් සහිත රට බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

වසර 22ක් මුළුල්ලේ පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන මෙම පාරිසරික කාර්යසාධන දර්ශකය ගෝලීය පාරිසරික ප්‍රතිපත්ති විශ්ලේෂණයේ ප්‍රමුඛතම විද්‍යාත්මක ක්‍රමවේදය බවට පත්ව ඇත. මෙම දර්ශකය මගින් පාරිසරික සෞඛ්‍ය හා ජෛව පද්ධති වැදගත්කම ආදී ගැටලු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි රටවල් 180ක් ශ්‍රේණිගත කෙරේ.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පාරිසරික කාර්යසාධනය අතින් ලොව 109 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රේණිගත කිරීමට අදාළ ලකුණු 100න් 39ක් රැස් කරගෙන සිටී. සෙසු දකුණු ආසියාතික රටවල් හා සැසඳීමේදී එය ඉහළ තත්ත්වයකි.

මෙම දර්ශකය යටතේ ඒ ඒ රටවල වායුගෝලීය දූෂණය, මිනිස් සෞඛ්‍යයට බලපා ඇති ආකාරය මැන බලයි. එනම් PM2.5 සඳහා නිරාවරණය, ගෘහස්ථ ඉන්ධන සහ ඕසෝන් වියනට නිරාවරණය යනුවෙන් ඊට අදාළව දර්ශක තුනක් පිහිටුවා තිබේ.

2020 පාරිසරික කාර්යසාධන දර්ශකයේ වායුගෝලීය ගුණාත්මක භාවය අතින් ලොව 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එහිදී ඉකුත් වසර 10 පුරාවටම දකුණු ආසියානු කලාපයේ රටවල් අතර වායුගෝලීය ගුණාත්මක බව අතින් ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම කැපීපෙනේ.

වායුගෝලීය ගුණාත්මක බව අතින් බහුතරයක් සෙසු දකුණු ආසියානු රටවල් ඉතා පිටුපසින් සිටින අතර බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්ථානය පිළිවෙලින් 166, 179 හා 180 යන ස්ථාන හිමි කරගෙන සිටී. එනම් මිලියන ගණනක් ජනතාව වායු දූෂණයේ අන්තරාදායක ප්‍රතිඵල විවිධ මට්ටම්වලින් භුක්ති විඳින බැව් පෙනීයයි.

ශ්‍රී ලංකාවේ වායුගෝලීය ගුණාත්මක භාවය දියුණුවීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස වාහන දුම් පරීක්ෂණ වැඩසටහන හඳුන්වා දිය හැක. වායුගෝලීය ගුණාත්මක බව වැඩිකිරීම වෙනුවෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව යමින් 2008 වසරේදී මෙම වැඩසටහන ආරම්භ විය. ඒ අනුව වාහන පරීක්ෂා කිරීමටත්, දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීමටත් ක්ලීන්කෝ ලංකා පෞද්ගලික සමාගම හා ලාෆ්ස් ඉකෝ ශ්‍රී පුද්ගලික සමාගම යන ආයතන දෙක තෝරාගැනුණි.

වර්තමානය වනවිට අධික ලෙස දුම් පිටකරන වාහන හඳුනාගැනීමට මෙන්ම, වායුගෝලීය ගුණාත්මක භාවය දියුණු කිරීමට (විශේෂයෙන් ම නාගරික ප්‍රදේශවල) මෙම දුම් පරීක්ෂණ වැඩසටහන ඉතාමත් ඵලදායී වී තිබේ. එනම් යතුරුපැදි, ත්‍රීරෝද රථ හා පුද්ගලික වාහන ඇතුළු මෙරට සමස්ත වාහන ප්‍රමාණය මිලියන 5.6ක් දක්වා වර්ධනය වනවිට, සමස්ත වායු විමෝචනය ස්ථාවර මට්ටමක පවත්වාගැනීමට මේ හරහා හැකි වී ඇත.

කලාපයේ සෙසු රටවල් හා සැසඳීමේදී, වායුගෝලීය ගුණාත්මක බව හොඳින් පවත්වා ගැනීම තුළ වායු දූෂණය හා බැඳුණු රෝගාබාධ හා වෙනත් සෞඛ්‍යමය සංකූලතා මඟ හරවා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වායුගෝලීය ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ නංවාගැනීම සඳහා කළ යුතු දෑ රැසකි. එහිලා වාහන දුම් පරීක්ෂණයේ ප්‍රයෝජන හා වාහන නිෂ්පාදකයින් අනුමත නොකරන ඉන්ධන වර්ග පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙන්ම දුම් පරීක්ෂාව හරහා වාහන නඩත්තුවේදී ලැබෙන ප්‍රතිලාභ සහ වැදගත්කම පිළිබඳ වාහන හිමියන් තුළ ධනාත්මක ආකල්පයක් ගොඩනැඟීම ආදිය කළ යුතුව පවතී. තව ද ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සඳහා වාහනවල කාර්මික තත්ත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමත්, වාහන පැදවීමේ රටාව හා වාහන ගමනාගමනය පිළිබඳ අධ්‍යයන කිරීම හා එහි වෙනස්වීම් සිදුකිරීමත් තුළින් ශ්‍රී ලංකාවට තවදුරටත් ඉහළ වායුගෝලීය ගුණාත්මක භාවයක් ළඟා කරගැනීමට හැකිවනු නිසැක ය.

සමස්තයක් ලෙස ගත් කල, ශ්‍රී ලංකාවේ වාහන දුම් පරීක්ෂණ වැඩසටහන හරහා හුදෙක් මෙරට වායුගෝලීය ගුණාත්මක බව රැකගැනීම හැරුණු විට තිරසාර බව හා බැඳුණු ගැටලු බොහෝමයකට විසඳුම් උදා කර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + eighteen =