ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි තෙවසර තුළ, මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කෙරේ.

විදේශ වෙළෙඳපොළට සහ ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම ඉලක්කයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කෙරේ. මෙරට ඖෂධ අවශ්‍යතාවයනේ 85% දැන් ආනයනය කරනු ලැබේ. ඒ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 130කි. මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් රටට ඉතිරි වෙයි. අදාළ ඉලක්ක ජය ගැනීමට අපට හැකි බව රජය තරයේ විශ්වාස කරයි.

ජානධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද ඊයේ(10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ කරුණු සාකච්ඡා විණි.

දැනට ආසියානු කලාපය තුළ වැඩියෙන්ම ඖෂධ ආනයනය කරන රට ශ්‍රී ලංකාවයි. වහාම මේ තත්ත්වය වෙනස් කළයුතුයි. ඊට දායක වීමට මහා පරිමාණ දේශීය ආයෝජකයන් කැමැත්ත පල කර ඇත.

විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ස්ථාපනය කෙරේ. ඊට එක්වීමට ලෝකයේ ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටී.අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළෙඳපළ අවස්ථා අත්කර ගැනීම ද ඉලක්කයකි.

රාජ්‍ය අංශය දියුණු කරන අතරම පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ද ශක්තිමත් කිරීමට රජය බැඳී සිටී. ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන්නැයි ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත ජනාධිපතිතුමා විවෘත ආරාධනයක් කරන ලදි.

දේශීය අයෝජකයන් සඳහා අයෝජන කලාපයක් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක භූමි භාගයක ඉදි කෙරේ. මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් ඇමරිකානු ඩොලර් මිලියන 300කට වැඩි ආයෝජනයක් කිරීමට සූදානම්ව සිටිති. වත්මන් රජය යටතේ මෙරට ඖෂධ නිෂ්පාදනයේ සුවිශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. මේ වන විට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැති බව අනාවරණය කෙරිණ. සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇත. ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය ඉලක්කයි.

ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියට වසරකට ආසන්න කාලයක් ගත විය. එම ප්‍රමාදය මගහැරීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් හඳුන්වාදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය. ඖෂධ නියාමන අධිකාරිය තුළ දේශීය ඖෂධ ලියාපදිංචිය ඇතුළු ගැටලු නිරාකරණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපනයට ද තීරණය කෙරිණි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාගැනීම සඳහා දිවයින පුරා සතොස සහ සමූපකාර සුපිරි වෙළෙඳසැල්වල ඖෂධ අළෙවිසැල් 100ක් ස්ථාපනය කිරීමට ද සාකච්ඡා විය. නිවාස වෙතම ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ඖෂධ සමාගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *