ඉදිරියේදී පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වීමට සූදානම් – රුවන් විජයවර්ධන

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වන බව අභිනවයෙන් පත් වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

නියෝජ්‍ය නායකත්වයට පත් වීමෙන් පසු සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. පාක්ෂිකයින්ගේ විශ්වාසය යළි දිනා ගෙන පක්ෂය වැටී සිටින තත්ත්වයෙන් යළි ගොඩ ගෙන යළි නිසි තැනට ගෙන ඒමට තමාට ශක්තිය ඇති බව විශ්වාස කරන බවද විජයවර්ධන මහතා පැවසීය. පාක්ෂිකයින්ද ඒ සඳහා කැප වී ක්‍රියා කරනු ඇති බව තමාට විශ්වාස බව පැවසූ ඒ මහතා ඉතාමත් කෙටි කලකින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කර අලුත් මුහුණුවරකින් පක්ෂය රටට ඉදිරිපත් කරන බවද ජනතාවගේ විශ්වාසය සහ හදවත දිනා ගෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන යන බවද අවධාරණය කළේය.

නියෝජ්‍ය නායකත්වය ලබා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහයෝගය තමාට ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් සිටි බවත් තමා සමග තරඟ වැදුණු රවි කරුණානායක මහතා සමග සුහදව කටයුතු කරන බවද කීය.

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවට රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු බව පක්ෂයේ බොහෝ දෙනාගේ අදහස තිබෙන බවත් 20 වැනි සංශෝධනය සහ මරණීය

දණ්ඩනය නියම වූ අය පාර්ලිමේන්තුවේ දිව්රුම් දීම වැනි ආණ්ඩුවේ ඒකාධිපති ක්‍රියාවන්ට විරෝධය දැක්විමට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව පැවසූ විජේවර්ධන මහතා වික්‍රමසිංහ මහතා තවම ඒ ගැන තීරණයක් ගෙන නොමැති බවද කීය.

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වන රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් ඊයේ (14) තේරී පත් විය.

රුවන් විජයවර්ධන සහ රවි කරුණානායක මහත්වරුන් නියෝජ්‍ය නායකත්වය සඳහා ඉදිරිපත් වූ අතර ඒ සඳහා පැවැති රහස් ජන්දයෙන් රුවන් විජයවර්ධන මහතා ඡන්ද 28ක්ද රවි කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියේය.

වජිර අබේවර්ධන මහතාද නියෝජ්‍ය නායකත්වය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබූ නමුදු ඊයේ ඔහු ඉදිරිපත් නොවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *