අංගොඩ ලොක්කාගේ මරණය හෘදයාබාධයකින් සිදුවූවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් පලා ගිය සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා‘ නැමැත්තා ඉන්දියාවේ කොයිම්බතූර් හිදී හෘදයාබාදයකින් මිය ගොස් ඇති බව තහවුරු වෙයි.

ඔහුට කිසියම් විෂ ද්‍රව්‍යක් ලබා දී මරණයට පත් වූ බවට කිසිදු සාක්‍ෂියක් නොමැති බව සිදුකළ රසායනික පරීක්ෂණවලින් සනාථ වූ බව ඉන්දිය මධ්‍යම අපරාධ කාර්යාංශය සදහන් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

එරට මධ්‍යම අපරාධ කාර්යාංශයයේ ප්‍රධානී කේ. ශංකර් සදහන් කර ඇත්තේ අදාළ මරණයට කිසිදු සැක සහිත කරුණක් හෝ විෂ ද්‍රව්‍ය ශරීරගත වීමක් සම්බන්ධයෙන් ලබා ගත් වාර්තාවලින් සොයා නොගත් බවයි.

කොයිම්බතූර් හි කුලී නිවසක ජීවත්ව ‘අංගොඩ ලොක්කා‘ සමඟ ජීවත් වූ අමානි තන්ජි නම් ශ්‍රී ලාංකික කාන්තාවගේ මූලික ප්‍රකාශයට අනුව ජුලි 03වනදා රාත්‍රියේ ඔහුට පපුවේ වේදනාවක් ඇති වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ අසල්වැසියන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිවය. ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවද සදහන්වේ.

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” ඉන්දියාවට පලාගොස් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් “ප්‍රදීප් සිං” යන නමින් වසර දෙකක පමණ කාලයක් පෙනී සිට ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

එසේම අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය විසින් ඔහුගේ පෙම්වතිය ලෙස හැදින්වෙන අමානි තන්ජි, මදුරෙයි හි පදිංචි සිවකාමී සුන්දරී සහ ඇයගේ සහායක තියානේෂ්වරන් යන අයව අත්අඩංගුවට ගෙන තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *