ආකල්ප වෙනසක් සමඟ සංවර්ධන පෙරළියකට සැරසෙන්න

(කොළඹ, ලංකාපුවත්) –තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නට ලැබෙන මන්දගාමි ක්‍රියාකාරිත්වය කනගාටුවට කරුණක් යයි ඔහු සඳහන් කරයි. කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනකැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා ආකල්ප වෙනසක් සමඟ සංවර්ධන පෙරළියකට සූදානම් වන මෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී රාජපක්ෂ මහතා මේ බව පැවැසීය. “සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාව තිබුණත් එය තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටලුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින් යැයි රාජපක්ෂ මහතා අවධාරණය කළේය. “ඔබට ගෙයක්, රටට හෙටක්” සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියේය.

පැරණි මහල් නිවාස සංකීර්ණවල මලාපවහන පද්ධති නඩත්තු කළ යුතුව ඇතැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි පණ ගැන්විය යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කීය. සංස්ථාවේ ප්‍රාදේශීය ශාඛා ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන නියෝජිතයකු ලෙස යොදාගත යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය යන ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවා සංවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ සාකච්ඡාවට ලක් විය. ඉදිකිරීම්, කෘෂිකර්ම සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල පෙරළියක් ඉදිරි වසරේ සිට අපේක්ෂා කරන බැවින් මේ සියලු ආයතන දැඩි උද්යෝගයකින් සේවා සම්පාදනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. නිවාස, මාර්ග, පාලම් සහ වැව් විශාල සංඛ්‍යාවක් ඉදිකිරීමට හා ප්‍රතිසංස්කරණයට රජය සැලසුම් කර තිබේ. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන ඉදිකිරීම්වලට දායක කර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජකයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =