ට්‍රම්ප්ට උග්‍ර විෂ සහිත ලිපිය එවූ කාන්තාවක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත උග්‍ර විෂක් අඩංගු ලිපියක් යවා ඇති බවට සැක කෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

කැනඩාවේ සිට නිව්යෝර්ක් ප්‍රාන්ත දේශ සීමාව හරහා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇය සතුව ගිනි අවියක්ද තිබුණු බව සදහන්වේ.

පසුගිය සතියේ ට්‍රම්ප් වෙත ලද පාර්සලය ධවල මන්දිරයේදී විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමේදී එහි මෙම උග්‍ර විෂ පවතින බව වාර්තා වූ අතර, ඒ අනුව මෙම ලිපිය කැනඩාවේ සිට එක්සත් ජනපදය වෙත එවා ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබුනි

කෙසේ වෙතත් එම පාර්සලය ධවල මන්දිරය වෙත පැමිණෙන අතරතුර එහි වූ විෂ ද්‍රව්‍යයට කිසිවෙකු නිරාවරණය නොවී ඇති බවද මේ වනවිට පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

කැනඩාවේ, ක්විබෙක්හි ශාන්ත හියුබට් වෙතින් මෙම ලිපිය තැපැල් කර ඇති අතර, මෙසේ අත්අඩංගුවට පත්ව ඇති කාන්තාවට එරෙහිව වොෂිංටන් ඩී.සී. හි එක්සත් ජනපද අභිචෝදකයන් විසින් චෝදනා ගොනුකරනු ඇත.

ට්‍රම්ප් ඉලක්ක කරගෙන විෂ සහිත කුඩක් ඇතුළත් ලිපියක් ධවල මන්දිරයට එවා තිබියදී එහි ළඟා වීමට පෙර එෆ්බීඅයි නිලධාරීන් විසින් සොයාගෙන ඇත. ධවල මන්දිරයට එවන ලියුම් සහ පාර්සල් පරිලෝකනය කරන ස්ථානයේ දී මේ ලිපිය සොයාගෙන ඇත්තේ ඉකුත් සතියේ මුල් භාගයේ යැයි නිලධාරීන් කියා තිබේ.

ලියුම් කවරයේ අඩංගු වී ඇත්තේ එරඬු ඇටවල ස්වාභාවිකව අඩංගු වන රිසීන් නම් උග්‍ර විෂ ද්‍රව්‍යයකි. ඒ රසායනික ද්‍රව්‍යය ශරීරගත වුව හොත් පැය 36ත් 72ත් අතර මරණය සිදු විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *