නවලෝක රෝහල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඔන්ලයින් රසායනාගාර වෙබ් අඩවිය වන ‘LAB TESTS ONLINE‘ හඳුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලාංකීය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල රසායනාගාර ක්ෂේත‍්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් සිය 35වන සංවත්සරයට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඔන්ලයින් (LAB TESTS ONLINE) රසායනාගාර වෙබ් අඩවිය පසුගිය 18වන දින නවලෝක රෝහල් සමුයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස සහ අධ්‍යක්‍ෂ රසායනාගාර සේවා, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් දියත් කරනු ලැබීය.

නවලෝක රෝහල විසින් හඳුන්වාදෙන මෙම නවතම සංකල්පයට අනුව Nawaloka Lab Tests on-Line වෙබ් අඩවියට පිවිස වෛද්‍යවරයා විසින් ලබාදෙන රෝග පරීක්ෂණ නිර්දේශ පත‍්‍රිකාව ‘prescription‘ වෙබ් අඩවියට අතුලත් කොට, සිදු කළ යුතු රසායනාගාර පරීක්ෂාව නිවැරදිව තෝරාගෙන මේ සඳහා ගත වන කාලය, පිරිවැය පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව සේවාව ලබා ගන්නා පුද්ගලයා විසින් මුදල් ගෙවීමේ ක‍්‍රමවේදය සහ රසායනාගාර නියැදිය ලබාදෙන ආකාරය සඳහන් කළ යුතුය. නියමිත රසායනාගාර වාර්තාව පාරිභෝගිකයා විසින් සඳහන් කරන කාලසීමාව තුළ විද්්‍යුත් තැපෑල, අන්තර්ජාලය හෝ කුරියර් සේවාවක් හරහා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව මගින් ලබා දී ඇත. රසායනාගාර නියැදිය රෝහලට ලබාදීමේ දී ඒ සඳහා ක‍්‍රමවේද කිහිපයක් මෙම වෙබ් අඩවිය හරහා පාර්භෝගිකයින්ට ලබා දී ඇති අතර නියැදි රැස්කරන ජංගම සේවාව, Drive through සේවාව හෝ රෝහල පැමිණ රසායනාගාර නියැදිය ලබා දිය හැක.

මෙම ක‍්‍රමවේදය මගින් වෛද්‍ය නිර්දේශය පරිදි සිදු කළ යුතු පරීක්ෂණයට අදාළව රෝගියා විසින් ලබාදිය යුතු රුධිර සාම්පලයන් නවලෝක රෝහල විසින් රෝගියාගේ නිවස වෙත ගොස් ලබා ගන්නා අතර පරීක්ෂණ වාර්තාව ද නිවෙස වෙත ගෙන්වා ගත හැකි බැවින් රෝගී පුද්ගලයාට විවේක සුවයෙන් නිවෙසටම වී සිටිය හැක. නවලෝක රෝහල විසින් හඳුන්වාදුන් මෙම නවතම වෙබ් අඩවිය ඔස්සේ රසායනාගාර සේවාවේ කාර්යක්‍ෂම සහ සරළ කර ඇති අතර බැංකු කාඞ්පත් මගින් ගනුදෙනු කිරීමට පහසුකම් සලසා ඇති බැවින් සමස්ත ක‍්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා මුදල් භාවිතා කිරීමෙන් තොරව සේවාවාන් ලබා ගැනීමේ හැකියාව රෝගීන්ට ලබා දී ඇති අතර, රෝගියාගේ අවශ්‍යතාව පරිදි ඔහු හෝ ඇයගේ පරීක්ෂණ වාර්තාව සෘජුව හෝ ඩිජිටල් තාක්ෂණය මගින් වෛද්‍යවරයා වෙත යොමු කළ හැක. එමෙන්ම රෝගියා විසින් යළි රසායනාගාර පරීක්ෂණය සිදු කළ යුතු දින වකවානුව පිළිබඳව පසුවිපරම් සිහිකැඳවීමක් ද ඊමේල් මගින් දැනුවත් කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයෙකි.

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එය භාවිතා කරනු ලබන සෑම පාරිභෝගිකයකුටම විශේෂිත පුද්ගල හඳුනාගැනීමේ අංකයක් ^UPIN& හිමිවන අතර නවලෝක රෝහලේ සියලූ සේවා සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට මින් අවස්ථාව හිමි වේ. නවලෝක රෝහල සතු අති නවීන තොරතුරු තාක්ෂණික පද්ධතිය හා පරිගණකගත පරිපාලන මෙහෙයුම් පද්ධතිය තුළින් කාර්යක්ෂම සහ රෝගීන්ගේ පුද්ගලිකත්වය මුළුමනින්ම ආරක්ෂා කෙරෙන අතර රෝගීන්ගේ සුරක්ෂිතබව පිළිබඳව ඉහළම අවධානයක් යොමු කරයි.

නවලෝක රසායනාගාර වෘත්තිකයින් විසින් නිර්මාණය කළ ‘Lab Tests Online’ සේවාව මගින් රෝගීන් සඳහා නිර්දේශ කර ඇති රසායනාගාර පරීක්ෂණයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන අතර මෙම දැනුවත් කිරීම සමස්ත ක‍්‍රියාවලියේම කොටසක් මෙන්ම රෝග නිර්ණය සඳහා සිදුකරන විශේෂ පරීක්ෂණයන් සහ ප‍්‍රතිකාර පිළිබඳව මනා අවබෝධයක් රෝගියාට ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුවේ.

‘Lab Tests Online’ සේවාව පරිශීලනය කරන ඔබට පරීක්ෂණ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු, පරීක්ෂණයේ අරමුණු,හා සම්බන්ධ වී සිටින අවස්ථාවේදි මෙම පරීක්ෂණයේ අරමුණ, රෝගී තත්වයේ ස්වභාවය සහ කළයුතු අනුව පරීක්ෂණ, පරීක්ෂණ ප‍්‍රතිඵල හා සම්බන්ධ ගැටලූ සඳහා උපදෙස් ලබා ගැනීමට සහාය වන තොරතුරු, සහ වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව වැනි සේවාවන් රැසක් මෙම වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ හැකියා පවතී. සරළවම කිවහොත් මෙම වෙබ් අඩවිය හරහා රෝගීන්ගේ රසායනාගාර වාර්තා තුළින් ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ප‍්‍රශස්ත අවබෝධයක් ලබා දීම අපේක්ෂා කෙරේ.

මෙම වෙබ් අඩවිය පිළිබඳව අදහස් දක්වමින් නවලෝක රෝහලේ අධ්‍යක්‍ෂ රසායනාගාර සේවා – මහාචාර්ය ලාල් චන්ද්‍රසේන මහතා පැවසුවේ රෝගී තත්වය පිළිබඳව ඇති අවබෝධය සහ දැනුම, එම පුද්ගලයින්ගේ නිරෝගී බව පිළිබඳව ප‍්‍රමුඛතම සාධකය වන බවයි.

නවලෝක රෝහල තුළ ස්ථාපිථ වෛද්‍ය රසායනාගාරය වර්ග අඩි 15,000කින් සමන්විත වන අතර මෙය ශ‍්‍රී ලංකාවේ එක් සථානයක පිහිටි විශාලතම වෛද්‍ය රසායනාගාරය ද වෙයි. නූතන රසායනාගාර උපාංගයන්ගෙන් සමන්විත නවලෝක රසායනාගාරය මුළුමනින්ම පරිගණකගතව ක‍්‍රියාත්මක වන බැවින් මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන වැරදි මුළුමනින්ම මගහරවා ගැනීමට සමත් වී ඇත. මීට අමතරව සාමාන්‍ය පරීක්ෂාවන් වන සායනික රසායනාගාර පරීක්ෂණ, රක්තවේද, පටක පරීක්ෂණ, ක්ෂුද්‍ර ජීව පරීක්ෂණ, සහ අසාත්මිකතා, වෛරස අධ්‍යනය, ප‍්‍රතිදේහ පරීක්ෂණ වැනි විශේෂිත පරීක්ෂණ පහසුකම්වලින් ද මෙම රසායනාගාරය සමන්විත වේ. නවලෝක රසායනාගාරයේ අනුක ජීව පර්යේෂණාගාරය තුළ දෛනිකව PCR පරීක්ෂණ 750ක් පැවැත්වීමේ පහසුකම් ඇත.

නවලෝක රසායනාගාර සමූහය දිවයින පුරා පිහිටි ශාඛා පද්ධතියකින් ද , ස්වාධින රසායනාගාර සහ සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථාන රුසක් සමග ජාල ගතව සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. අප සේවාව නිතර භාවිතා කරන්නන් සඳහා ප‍්‍රතිලාභ රැුසක් හිමි වන අතර නිරන්තරව සිදු කරන පරීක්ෂාවන් සඳහා වට්ටම් ලබා දීම, නොමිලේ ලබා දෙන ජංගම සේවා , ඉන් කිහිපයකි.

නවලෝක රසායනාගාරය ශ‍්‍රී ලංකා ප‍්‍රතීතන මණ්ඩලය විසින් ප‍්‍රතීතනය සහිත වෛද්‍ය රසායනාගාරයක් බවට සහතික කර ඇති අතර මෙහි සිදු කරන සියලූ වෛද්‍ය පරීක්ෂණයන් ගේ පර්යේෂණ හැකියාව ප‍්‍රතීතන මණ්ඩලයේ සහතික ලත් කමිටුවකගේ දැඩි අධීක්ෂණයට ලක්වේ.

වර්තමානයේ නවලෝක රෝහල දේශීය හා විදේශීය පිළිගැනීමක් ලබා ඇති අතර දකුණු ආසියාවේ පළමු 640 slice CT ස්කෑනර් යන්ත‍්‍රය, ශ‍්‍රී ලංකාවේ පළමු MRI යන්ත‍්‍රය පළමු 3D හොලොජික් මැමෝග‍්‍රෑම් යන්ත‍්‍රය, පළමු බයිපාස් සැත්කම ආදි සේවා සහ බොහෝ උසස් තාක්ෂණික වෛද්‍ය උපකරණ මෙරටට හඳුන්වා දීම සඳහා පූරෝගාමී විය.
මෑතකදී නවලෝක රෝහල ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL) ප‍්‍රමිතිකරණය හිමි කර ගැනීමට සමත් විය. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප‍්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල දක්වන කැපවීම මනාව පිළිබිඹු කෙරේ.

නුදුරු අනාගතයේදී නවලෝක රෝහල විසින් මෙම පහසුකම විකිරණවේදය සහ වෙනත් පරිපූරක වෛද්‍ය සේවාවන් වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. එහිදී පරිශීලකයාට CT MRI ස්කෑන් , එක්ස් කිරණ ස්කෑන්, US ස්කෑන්, මැමෝග‍්‍රැෆි සහ ඩෙක්සා වැනි සේවාවන් ලබා ගත හැකි වනු ඇත. පෙර වෙන්කරවා ගත් රෝහල් සේවාවන් හැර අනෙක් සේවා ඊ සේවාවන් මගින් සිදු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *