විදුලි පාරිභෝගික පැමිණිලි විසඳීම සඳහා දිවයින පුරා ජංගම සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සහන සේවය සියලූම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව එම සහන සේවයක් ක්‍රියාවට නංවනු ඇත.

මෙහි පළමු වැඩසටහන දකුණු පළාතේ විදුලි පාරිභෝගික පැමිණිලි 500 කට වැඩි සංඛ්‍යාවකට විසදුම් ලබා දී තිබේ.

පැමිණිලි බොහොමයක් වූයේ මාර්ගගත රැහැන්වල අවහිරතා, වෙන්දේසි කරන ලද ඉඩම් සඳහා විදුලිය සැපයීම, මීටර මාරු කිරීම, නව සම්බන්ධතාවයන් ලබා ගැනීම සහ විදුලි සම්බන්ධතා වෙනස් කිරීම යනාදිය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

රාජ්‍ය සේවකයන් මහජනයා වෙත ගොස් ඔවුන්ට සේවය කළ යුතු බව ජනාධිපතිතුමා සහ අගමැතිවරයාගේ සංකල්පයකි. එය ද සැලකිල්ලට ගනිමින් මෙම නව වැඩපිළිවෙල මහජනතාව වෙනුවෙන් දියත් කර තිබේ.

2019 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා විදුලි පැමිණිලි 1382 ට සාපේක්ෂව 2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා විදුලි පැමිණිලි 865 ක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබී ඇත. 2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා විදුලි පැමිණිලි 1244 ක් සඳහා විසදුම් ලබා දීමට හැකිව තිබේ.

මෙම ජංගම සේවය මීළඟට ක්‍රියාත්මක කරනුයේ උතුරු මැද පළාතේ විදුලි පාරිභෝගිකයින්ගේ ගැටළු විසඳීම සඳහා නොවැම්බර් මාසයේ අනුරාධපුර සහ පොලොන්නරුවේ දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *