ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට අගමැතිගේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ පොදු දියබෙත්ම කළමනාකරණ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපාය මාර්ගික යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටුවක් පත් කිරීමට අදාළ ආයතන හමුවක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙක් අරලියගහ මන්දිරයේදී ඊයේ (21) පැවැත්විණි.

ජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන 15 ක නියෝජිකයෝ මෙම හමුවට එක්ව සිටියහ.

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරක්ෂිත ජල අවශ්‍යතා සැපිරීමේ වැඩපිළිවෙළ යටතේ අග්‍රාමාත්‍යතුමා විසින් මෙම කමිටුව ලබන සතියේ පත් කිරීමට නියමිතව තිබේ.

කාර්යක්ෂම හා සාධාරණව ජාතික ජල සම්පත් සංරක්ෂණය හා වෙන් කිරීම තුළින් සමාජයේ හා පරිසරයේ සංස්ථාවල ජල අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කිරීම මෙම කමිටුව පත් කිරීමේ මූලික අරමුණකි.

ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා පවතින ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, ප්‍රධාන රේඛීය ආයතන අතර සහයෝගීතාවයන් ඇති කිරීම සඳහා උපාය මාර්ග සකස් කිරීම, සියලු දෙනාට වඩා හොඳ තත්ත්වයේ ප්‍රමාණවත් ජල සැපයුමක් සහතික කිරීම, පවතින ජල සම්පත් සංවර්ධනය, සංරක්ෂණය සහ ජල පෝෂක කළමනාකරණය හා ඊට සම්බන්ධ ආයතන බලාත්මක කිරීම, ඒකාබද්ධ ජල සම්පත් සංවර්ධනය සහ කළමනාකරණය දිරිමත් කිරීම මෙහි අපේක්ෂිත අනෙකුත් අරමුණුය.

තවදුරටත් පවතින ජල ගැටලු විසඳීම සඳහා වගකීමක් සහ බලයක් සහිත පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම, ජල සම්පත් සපුරා ගැනීමේදී ඇති වන විෂමතා සමනය කිරීම සහ ජලය ආශ්‍රිත ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම, ජල සැපයුම් කළමනාකරණ ගැටලු සඳහා සාර්ථකව කටයුතු කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම, ජාතික ජල සම්පත් කළමනාකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවීම, ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, භූ ගත ජල කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, නළ ළිං ඉදි කිරීම අවිධිමත්ව සිදුවීම නිසා ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හා නියාමනයක් ඇති කිරීම යනාදී කරුණු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වුණි.

නිවාස යෝජනාවල ජීවත්වන ජනතාව මුහුණ පාන ජල ගැටලු සම්බන්ධව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා එම නිවාස යෝජනා ක්‍රමවල ක්‍රමවත් ජල හා මළ ප්‍රවාහන පද්ධති නොමැති බව පෙන්වා දුන්නේය.

අක්‍රමවත් ඉදිකිරීම් ඔස්සේ ජලය පොළවට උරා ගැනීමට ඇති අවස්ථා අවහිර කිරීම ජල ගැලීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇති බවත්, නීති විරෝධී ඉදි කිරීම් පාලනය විය යුතු බවත් මෙහිදී සාකච්ඡා විය.

බස්නාහිර පළාතේ වාර්ෂිකව සිදුවන ජල ගැලීම් නිසා සිදුුවන අලාභය ඇ.ඩොලර් මිලියන 300කට අධිකය. අක්‍රමවත් ඉදිකිරීම් ඊට හේතු වී තිබේ. මෙරට ජල හිඟයක් නොමැති අතර, සමස්ත ජලයෙන් 50% ක් පමණක් ප්‍රයෝජනයට නොගෙන ඉතිරිය මුහුදට එකතු වන බවද මෙම හමුවේදී හෙළි විය.

නිසි ජල කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් ඇතිවන මෙම ගැටලු මඟහරවා ගැනීමට ලබන සතියේ පත් කරන නව කමිටුව මසකට වරක් රැස්වීමට නියමිතය. එක් එක් ආයතනවල කරන ලද ව්‍යාපෘති යෝජනා, සමීක්ෂණ වාර්තා මෙම කමිටුවට ඉදිරිපත් කර ජල ගැටලු අවම කිරීම සඳහා කඩිනම් විසදුම් ගැනීමට මෙහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *