වසර 116ක් පැරණි වාර්තාව බිඳ වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශ සවාරියේ සමස්ත ශූරයා බවට පත් වූ ස්ලෝවේනියාවේ 21 හැවිරිදි ටඩේජ් පොගාකර් වසර 116කට පසු ප්‍රංශ සවාරිය ජයගත් ළාබාලතම ක්‍රීඩකයා බවට පත් විය.

1904දී ප්‍රංශ සවාරිය ජයගනිමින් එවකට 21 හැවිරිදි වියේ පසුවූ අයර්ලන්තයේ සෑම් බෙනට් එම තරගය ජයගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙස තැබූ වාර්තාව සම කළ පොගාකර් පෙරේදා නිමාවට පත් වූ මෙවර තරගාවලියේ සියළු ගෞරව දිනා ගැනීමට සමත් විය. මෙවර තරගාවලියේ අදියර ගණනාවක්ම ජය ගත් ස්ලෝවේනියාවේම 30 හැවිරිදි ප්‍රිමෝස් රොග්ලික් දෙවැනි තැනට පත් වූ අතර, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක 35 හැවිරිදි රිචී පෝර්ටේ තුන්වැනි ස්ථානය දිනා ගත්තේය.

මීට අමතරව තවත් වාර්තා කිහිපයක්ම පොගාකර් විසින් තබනු ලැබුවේ ප්‍රංශ සවාරිය ඉතිහාසයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වෙමිනි. ඔහු ප්‍රංශ සවාරිය ජයගත් පළමු ස්ලෝවේනියානු ජාතිකයා ලෙසත්, පළමු වරට ප්‍රංශ සවාරියට එක්වූ ක්‍රීඩකයකු ශුරතාව දිනා ගත් දෙවැනි අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක් විය. මීට පෙර ලෝරන්ට් ෆිග්නොන් 1983දී පළමු වරට ප්‍රංශ සවාරියට එක් වෙමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියෝජනය කරන පොගාකර්ගේ ජයග්‍රහණය එමීර් කණ්ඩායමේ ක්‍රීඩකයකු ප්‍රංශ සවාරිය ජයගත් පළමු අවස්ථාව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *