ප්‍රමුඛතා මංතීරුවේ වෙනත් වාහන බැහැ

(කොළඹ, ලංකාපුවත්) – අද (23) සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ගමන් කළ හැකිවන්නේ බස් රථ, කාර්යාල සේවක ප්‍රවාහන බස්රථ, පාසල් දරුවන් රැගත් බස්රථ හෝ වෑන් රථ සහ අවසර ලත් මගී ප්‍රවාහන බස් රථ පමණක් බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි දෙවන හෝ තෙවැනි මංතීරුවේ ගමන් කළ හැකි වුවද එම වාහන දෙවන මංතීරුවට ප්‍රමුඛතාව දී ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා ඉල්ලා සිටී.

බස් රථවලට පුද්ගලයන් නංවා ගැනීම හෝ බැස්සවීමේදී හැකිතාක් මාර්ගයෙන් අයිනට කර හෝ බස් රථ නවතා තැබීමට විශේෂයෙන් වෙන්කර ඇති ස්ථානයේ ඇතුළටම කර නවතන ලෙසත්, බස් රථයක් නවතා ඇති අවස්ථාවක පමණක් දෙවන මංතීරුවෙන් ඉස්සර කිරීමට පමණක් අවසර ඇති අතර කුමන අවස්ථාවක හෝ දෙවන මංතීරුවේ බස් රථවලට ගමන් කිරීමට අවස්ථාවක් නැත. හැකි තරම් වම් පස රේඛාවට ආසන්නයෙන්ම බස් රථ ගමන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටී.

එසේම මෙම නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මංතීරු කපාගෙන ගමන් කරන වාහනවලට එරෙහිව එම නීතිය තව දුරටත් ක්‍රියාත්මක කරන බවත් මේ වන විට දහසකට ආසන්න පිරිසක් මෙම නීතිය ක්‍රියාත්මක නොකර ඇති බවත් ඔවුන්ව ගෙන්වා වෙනම අවවාද දීමට කටයුතු කරන බවත් පැවැසීය.

මේ වන විට මෙම නීතිය උල්ලංඝනය කළ 565 දෙනකු හඳුනාගෙන ඇති අතර ඊයේ(22) දින 512 දෙනකු හඳුනාගෙන ඇති අතර දහසක පමණ පිරිසකගේ තොරතුරු මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහය ලබාගෙන නීතිය උල්ලංඝනය කළ පිරිසට අවවාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද කියා සිටියේය. මේ තොරතුරු හෙළි වූයේ ඊයේ (22) පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *