කොවිඩ්වලට මුහුණ දෙමින් සංචාරක කර්මාන්තයේ අභියෝග ජය ගන්න පෙළ ගැසෙමු

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 තත්ත්වයට මුහුණ දෙමින් සංචාරක කර්මාන්තයේ අභියෝග ජය ගැනීමට රටක් ලෙස පෙළ ගැසෙමු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අන්තර්ජාතික සංචාරක දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමන් මඟ නව මාවතක් ඔස්සේ යොමුව ඇති යුගයක ජාත්‍යන්තර සංචාරක දිනයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ සතුටට පත් වෙන බව ඊයේ (27) ට යෙදී තිබුණු සංචාරක දිනය වෙනුවෙන් නිකුත් කර ඇති එම පණිවිඩයේ දක්වා ඇත.

එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

සංචාරක කර්මාන්තයේ වැදගත්කම ලොවට විදහා දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය ප්‍රථමවරට ලෝක සංචාරක දිනය පවත්වන ලද්දේ 1980 දීය. එතැන් සිට අද දක්වා සෑම වසරකම සැප්තැම්බර් 27 වැනි දින ලෝක සංචාරක දිනය සමරයි.

ලෝක ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයේ භූමිකාව පිළිබඳ දැනුම්වත් කිරීම සහ ලෝකය පුරා සමාජ සංස්කෘතික දේශපාලනික සහ ආර්ථික වටිනාකම් වලට සංචාරක කර්මාන්තයේ බලපෑම නිරූපණය කිරීමේ අරමුණින් සමරන ජගත් සංචාරක දිනය පෞඩ ඉතිහාසයකට හා සංස්කෘතියකට උරුමකම් කියන අප වැනි රටකට කදිම අවස්ථා නිර්මාණය කරයි.

අතීතයේ පටන්ම විදේශීය ආකර්ෂණය නොමදව දිනා ගත් රටක් වන ශ්‍රී ලංකාවේ පවතින ස්වාභාවික පිහිටීම, යහපත් දේශගුණික තත්ත්වය අධ්‍යාත්මික සුවය හා සරල ජීවිතය, සොබාව සෞන්දර්යෙන් ලබන වින්දනය, විවේකය, ඓතිහාසික වටිනාකම මෙන්ම සොබාව සෞන්දර්යේ පවතින අපූර්වත්වය සුවහසක් ලෝකවාසී සංචාරකයන් ශ්‍රී ලංකාවට ඇදී ඒමට ප්‍රමුඛතම සාධකයකි.

සොබාව සෞන්දර්යය මෙන්ම ආගන්තුක සත්කාරයෙන් අනූන රටක් ලෙස අපට ලොව හමුවේ ඇත්තේ සාඩම්බර අභිමානයකි.

වත්මන් ලෝකය දෙස බලන විට ලෝක ආර්ථිකයට සෘජු බලපෑමක් සංචාරක කර්මාන්තය මඟින් එල්ල වන බව පැහැදිලිය. මෙය ශ්‍රී ලංකාවට ද පොදු වූ කරුණකි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑම අතිමහත්ය. එම තත්ත්වය තේරුම් ගනිමින් සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රවර්ධනයන් තුළින් රටේ ආර්ථිකය කෙරෙහි සංචාරක කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීමට අප රජයක් ලෙස කටයුතු සැලසුම් කර ඇති බව මෙවර සංචාරක දිනයේදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *