වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් අනතුරුව පොල් වැඩි මිලට විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව පෙරේදා (26) සහ ඊයේ(27) දිනයන්හි දිවයින පුරා වෙළෙඳුන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇත. ඒ අනුව පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම නොකරමින් පොල් අළෙවි කරනන් සොයා වැටලීම් සිදු කරන බව පාර්භෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කරනු ලැබු අතර එම වට ප්‍රමාණය සකස් කරගැනීම අසීරු කටයුත්තක් නොවන බව කියා සිටින සභාපතිවරයා එම මිල ගණන්වලට පොල් අළෙවි නොකරන්නේ නම් අධිකාරියේ අංක 1977 දුරකතන ඇමැතුමක් ලබා දෙමින් විස්තර දන්වන ලෙසයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් පසුගිය 25 දා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70කි.

වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර වන පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 65ක් වන අතර වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් අලෙවි කළ හැක්කේ, රුපියල් 60කට පමණය.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, උපරිම මිලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීම, අලෙවිය පිණිස තැබීම හෝ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ සිදුනොකළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *