ඉන්දීය – ශ්‍රී ලංකා අගමැතිවරු අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාව

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.

ඒම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා (26) පවත්වන ලදී.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශවික සාකච්ඡාව මෙයයි.

මෙම ද්වී පාර්ශවික සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යතුමාට සුභ පැතුම් එක් කරන බවයි.

පසුගිය මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පක්ෂය ලබා ගත් විශාල මැතිවරණ ජයග්‍රහණය, ඉන්දියානු මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තමා ලැබූ ජයග්‍රහණය හා සමානව බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මෝදි මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මහඟු සහයෝගීතාවයකට එම මැතිවරණ ජයග්‍රහණ ඉවහල් වනු ඇති බවට තමා විශ්වාස කරන බව ද පැවසීය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව – ශ්‍රී ලංකාව අතර නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වී ඇති බවත්, ඒ පිළිබඳව දෙරටේ ජනතාව නව බලාපොරොත්තුවකින් හා අපේක්ෂාවන්ගෙන් අප දෙස බලා සිටින බව ද අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත් වූ අතර මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව හා දෙරටේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක ක්ෂේත්‍රය, වෙළඳ සබඳතා අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමේ මාර්ග මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක පවත්නා සහයෝගීතාව පුළුල් කිරීම වැනි කාරණා ගණනාවක් පිළිබඳව ද නායකයෝ දෙදෙනා සාකච්ඡා කළහ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, එම්. යූ. එම්. අලි සබ්රි, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ජීවන් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රියර් අද්මිරාල් මහාචාර්ය ජනතාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහත්වරු ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *