කොවිඩ් මධ්‍යස්ථානයට නොදන්වා විදේශිකයන් ගෙන්වීම තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයට නොදන්වා විදේශ ගුවන්යානාවලින් මෙරටට පුද්ගලයන් රැගෙන ඒම තහනම් කර තිබේ.

මේ සම්බන්ධව සිවිල් ගුවන් සේවා අධිකාරියට දැන්වූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එලෙස පසුගියදා මත්තල ගුවන් තොටුපොළේ නිලධාරීන් කොවිඩ් මධ්‍යස්ථානයට හෝ සෞඛ්‍ය නිලධාරීන්ට නොදන්වා මත්තලට පැමිණි රුසියානු ගුවන්යානයක් පැමිණ තිබුණි.

එහි කාර්ය මණ්ඩලයේ 15දෙනෙක් මාතර, පොල්හේනේ හෝටලයක නවත්වා සිටියදී බාහිර සමාජයට ගිය අයකුට කොරෝනා වැලඳී ඇති බව ද පසුගියදා වාර්තාවිය.

මේ හේතුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට අදාළ දැනුම්දීම සිදු කර තිබේ.

ඒ, අනුව ඉදිරියේදී විදෙස් රටවලින් පැමිණෙන අය රඳවා තැබිය හැක්කේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ මේ වන විට පුද්ගලයින් 45, 636 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය සම්පූර්ණ කර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 77ක පුද්ගලයන් 7,484 ක් නිරෝධායනයෙහි නිරතව සිටිති. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ පමණක් PCR පරීක්ෂණ 1,410 ක් පවත්වා ඇති අතර මේ දක්වා ශ්‍රී ලංකාවේ පරීක්ෂණ 282,197 ක් පවත්වා ඇත.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ශ්‍රී ලංකාව තුළ තහවුරු කර ඇති COVID-19 රෝගීන් සංඛ්‍යාව 3360 ක් වන බවයි. සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3208 ක් වන අතර තවදුරටත් ආසාදිතයින් 139ක් වෛද්‍ය ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *