පළතුරු බීම අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය ගොවියා නංවාලීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මෙරට පලතුරු බීම නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගෙන් වැඩි නිෂ්පාදන මිලදී ගැනීම දිරිමත් කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය සතියේ මහා පරිමාණ පලතුරු බීම නිෂ්පාදකයින් හමුවූ රාජපක්ෂ මහතා කියා සිටියේ එම නිෂ්පාදන අපනයනය දිරිගැන්වීම සඳහා නිෂ්පාදන බද්ද අඩු කිරීමට යෝජනා කරන බවයි.

එසේම පළතුරු බීම වල සීනි ප්‍රමාණය තවදුරටත් අඩු කිරීම බීම නිෂ්පාදකයින්ගේ වගකීම බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ගොවීන්ගේ නිෂ්පාදන ලබා ගැනීම සඳහා තවත් එළවළු හා පලතුරු එකතු කිරීමේ මධ්‍යස්ථාන ඇති කළ යුතු බව ඔහු පැවසීය. පලතුරු යුෂ සහ එළවළු යුෂ සදහා යුරෝපය ඇතුළු අනෙකුත් රටවල විශාල ඉල්ලුමක් පවතී. ඒ අනුව අපනයන වැඩි කිරීමෙන් දේශීය ගොවි ප්‍රජාවේ ජීවන තත්ත්වය ද වැඩිදියුණු කළ හැකිය.

යුෂ ලෙස සැකසූ පලතුරු හා එළවළු අපනයනය කිරීමෙන් අපනයන වෙළඳපොළ ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කළ හැකි බව රාජපක්ෂ මහතා පැවසීය. මෙවැනි උත්සාහයන් සඳහා රජය දිරි දීමනා ඉහළ මට්ටමක පවත්වාගෙන යනු ඇතැයි ඔහු පැවසීය.

පරිභෝජනය කරන සීනි ප්‍රමාණය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ගෝලීය වශයෙන් ප්‍රශංසා කර ඇති බව ද අවධාරණය කෙරිණි.

බදු සහන නිර්දේශ කිරීමෙන් සීනි පරිභෝජනය ප්‍රවර්ධනය නොවන බව අවධාරණය කළ රාජපක්ෂ මහතා, ‘එකතු කළ සීනි නැත’ යන ලේබලය යටතේ අනාගතයේ දී පලතුරු බීම වෙළඳපොළට හඳුන්වා දීමට නිෂ්පාදකයින් උනන්දු විය යුතු බව ද රාජපක්‍ෂ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *