නැගෙනහිර සංචාරක කර්මාන්තය පුළුල් ලෙස සංවර්ධනයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි සිව් වසර තුළ නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය පුළුල් සංවර්ධනයක් සිදු කර ඒ වටා සිටින සියලු දෙනාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

“කොවිඩ් 19” වසංගතය තත්වය ලෝකයෙන් මැඩපැවැත් වූ පසු සංචාරක ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටීමට ශ්‍රී ලංකාවට හැකිවන බවද ආණ්ඩුකාරවරිය කීවාය.

විශේෂ පුහුණුවක් ලැබූ සංචාරක මගපෙන්වන්නන් පිරිසක් ලියාපදිංචි කිරීමේ උත්සවයකට පසුගියදා (24) ත්‍රිකුණාමලය ජුබිලි ශාලාවේ දී එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව අවධාරණය කළාය. ශ්‍රි ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය සහ නැගෙනහිර පළාත් සංචාරක අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

මෙම පුහුණුව ඔස්ට්‍රේලියානු රජයේ මෙන්ම පළාත් සභාව හා අනෙකුත් සබැඳි ආයතනයන්ගේ සහය ඇතිව සිදු කළ අතර පළමුවෙන්ම මම නැගෙනහිර පළාත වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම තුළින් පළාතට උපකාර කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයට හා මහකොමසාරිස් තුමාට ස්තුතිවන්ත වෙනවා.

නැගෙනහිර පළාත යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම සුන්දරම ප්‍රදේශයක්. වෙරළ තීර, වනාන්තර, වන ජීවීන්, වැව් පමණක් නොව පුරාවිද්‍යා උරුමයන්ගෙන් පොහොසත් වීම වැනි කරුණු නිසා මෙම කලාපය සංචාරක ව්‍යාපාරය සඳහා ඉතාමත්ම සුදුසුයි. අවාසනාවකට පසුගිය වසර කීපය තුළ අප පළාතේ සංචාරක ව්‍යාපාරය අනෙකුත් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව ඌන සංවර්ධිත මට්ටමක පැවතුනා.

මාගේ නිල කාලය තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරනවා.

අප ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන එක් ක්‍රියාමාර්ගයක් වන්නේ සුවිශේෂී ප්‍රදේශවල පිහිටා ඇති පුරාවිද්‍යා ස්ථාන යා කරමින් ඒවා සම්බන්ධ කරමින් ඇවිදීමේ හා පාපැදි ධාවන මන්තීරු ජාලයක් ගොඩ නැගීමයි. එවැනි ජාලයකට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද ආකර්ෂණය කර ගත හැකියි. දේශීය සංචාරකයින් ආකර්ශණය කර ගත හැකි අයුරින් සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම අද වන විට ඉතා අසීරු වන්නේ නව කොරෝනා වෛරසය (covid-19) තත්වය හේතුවෙන් මෙරටට විදේශීය සංචාරකයින් පැමිණීමෙන් වැළකී සිටින බැවින් සහ මෙම තත්වය තවත් කොපමණ කාලයක් පවතීද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැති හෙයිනි. මෙම නව මංපෙත් ගොඩ නැගීමෙන් පසුව අද දින ලියාපදිංචි වන සංචාරක මාර්ගෝපදේශකයන් ට මෙම වැඩසටහන තුළින් ඔවුන් ලබා දී ඇති කුසලතා හා දැනුම භාවිතා කිරීමට අවකාශය ලැබෙන අතර ඔවුන්ගේ අඩි පාරේ යමින්, අනුගමනය කරන අලුත් පිරිසකට ද, තවදුරටත් අවස්ථාව ලැබේ. සමස්තයක් ලෙස පළාතේ ආර්ථික සංවර්ධනය කිරිම සඳහා සෑම දිස්ත්‍රික්කයක් සඳහා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. එසේම ත්‍රිකුණාමලයේ සිට ආරුගම්බේ දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට අප බලාපොරොත්තුව සිටින අතර දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට එමගින් හැකියාව ලැබේ. මේ සියලු ව්‍යාපෘති ඉදිරි වසර කීපය තුළ දී නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු තිබෙනවා.

විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර කල් පවත්නා සංහිඳියාවක් ඇති කිරීම අද වන විට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම අවශ්‍යතාවයයි. කෙසේ වුවද ඉන්දියානු සාගරයේ මධ්‍යයේ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ලෝකයේ “මහබලවතුන්ගේ” දැඩි අවධානයට ලක් වී ඇති නමුත් මෑත කාලිනව ඇතැම් බලවත් ජාතීන් ” සංහිඳියාව”පිළිබඳ අදහස් දැරීම අව්‍යාජ මිත්‍රත්වයක් ඇති කිරීමට එතරම් ප්‍රමාණවත් නොවන අතර එමගින් අප රටෙහි ජනවාර්ගික කණ්ඩායම් අතර විවිධ දේශපාලනික හැල හැප්පීම් ඇති කිරීමේ අරමුණක් හා ශ්‍රී ලංකාවට සිදු කරන යම් ආකාරයක බලපෑමක් ලෙස අපි දකිනවා.

පොදුවේ ගත් කල සංහිඳියාව ඇති කිරීමට අදාළ ප්‍රධානතම සාධකය වන්නේ විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර ආර්ථික සෞභාග්‍යය සහ සමෘද්ධියයි. මන්දයත් මිනිසුන් ඉතාමත් සතුටින් හා හොඳින් ජීවත්වීමට අවස්ථාව සැලසුම විට ඔවුන්ගේ අවධානය ස්වාභාවිකවම වඩාත් ඉහළ හා මනුෂ්‍ය අරමුණු වන දර්ශනය, සාහිත්‍යය, කලාව, විද්‍යාව ආදියට යොමු වන අතර එකිනෙකා අතරේ පවතින සුළු එදිරිවාදිකම් වලින් ඈත්ව බවද ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට ශ්‍රි ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි පළාත් සංචාරක අධිකාරියේ සභාපති හැරි ප්‍රතාප් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *