යුද හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආශිර්වාද පිංකම ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී

(කොළඹ, ලංකාපුවත්) – ඔක්තෝබර් 10වනදාට යෙදී තිබෙන 71වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරන දෙවැනි ආගමික උත්සවය අද(30) උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී පැවැත්වුණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදු විය.

යුද්ධ හමුදාවට සහ ධජයන්ට ආශිර්වාද එක් කිරීම සදහා මහා සංඝරත්නය අලංකාරවත් පෙරහැරකින් උඩමළුව වෙත වැඩම කෙරිණි.

යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන, සියලු නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් සියගණනක් ජය ශ්‍රී මහා බෝධියේ පහල වැලි මළුවේ තෙවරක් සක්මන් කොට මැද මළුවේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ධජයන් භාරදුන්හ.

සම්ප්‍රදායික ‘හේවිසි‘ හා ‘මගුල් බෙර‘ හඬ මධ්‍යයේ යුද්ධ හමුදාපතිවරයා ගෞරවාන්විතව හමුදා ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට සියළු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කරන ලදි.

මෙම උත්සවයෙන් අනතුරුව යුද හමුදාපතිවරයා විසින් ශාසනාභිවෘද්ධිය උදෙසා මූල්‍යමය පරිත්‍යාගයක් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත පූජා කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *