වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස

(කොළඹ, ලංකාපුවත්) –වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ(29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම එම නිවාස ඉදිකිරීමේ අවශ්‍යතාව ද එහිදී පෙන්වා දී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එම සාකච්ඡාවට එක් විය.

මේ වනවිට, ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ.

දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි.

යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීහූ සඳහන් කර තිබේ.

නිවාස සැලසුම් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීමෙන් ඉදිකිරීමේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයක පවත්වාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

වතු ආශ්‍රිත පෙර පාසල්, ප්‍රාථමික විද්‍යාල, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

වතු ආශ්‍රිතව ජීවත්වන තරුණ තරුණියන්ට NVQ මට්ටමේ සහතිකයක් ගත හැකි මට්ටමින් වෘත්තීය පුහුණුවක් දී රැකියා අවස්ථාවලට යොමු කිරීමේ ඇති වැදගත්කම ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

438ක් වන වතු ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් වතු ජනතාව වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට ද එහිදී අවධාරණය කර තිබේ.

බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය සහ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් කෙරෙහි ද සාකච්ඡාවට ලක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *