අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍යයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(02) දින අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව පැවසූ අග්‍රාමාත්‍යතුමා “අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්” යැයි ද ප්‍රකාශ කළේය.

සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, නැවත එළඹී ඇති බවත්, ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේසිට ඔබ පාසල් යනවිට අදින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹ ඇති බවත්, අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

2020 – ලෝක ළමා දිනයට සමඟාමීව සමරු මුද්දරයක් හා මුල් දින කවරය එළි දැක්වීම ද මෙහිදී සිදු විය. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් ලෝක ළමා දිනයට සමඟාමීව එළිදැක් වූ සමරු කලාපය අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූයේය.

මහජන බැංකුව පරිසර හිතකාමීව මැටියෙන් නිර්මාණය කළ ඉතිරි කිරීම් කැට බෙදා දීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා අතින් දරුවන් තිදෙනෙකුට ලබාදීම ද මෙහිදී සිදු විය.

අග්‍රාමාත්‍යතුමා මෙසේ ද පැවසීය,

ලෝක ළමා දිනයට සමගාමීව දරුවන් වෙනුවෙන් මේ වගේ උත්සවයක් පැවැත්වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් බිත්තිවලින් වටවුණු ශාලාවක දේශනයක් පවත්වනවාට වඩා අපේකම මතක් වෙන විදිහට අපේ ගමේ මේ උත්සවය පවත්වන එක ගැන මම ඉතාමත් සතුටුයි.

ඒ වගේම මේ දිනය අපේ දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් එළිදක්වමින් පවත්වන්න ඇමතිතුමන් උත්සහ ගැනීම ඉතාම කාලෝචිතයි කියලා මම හිතනවා.

මේ දරුවන් අතරින් සියලුම ජාතීන්ට, සියලුම ආගම්වලට අයත් දරුවන් ඉන්න බව මට පේනවා. ඒක තමයි මම මේ රටේ වැඩියෙන්ම දකින්න කැමති දර්ශනය. ඒ වගේම සියලු ජාතීන් ආගම්වලට අයිති දරුවන් ඒකරාශී කර ගැනීම ගැනත් මම ස්තූතිවන්ත වෙනවා.

ආදරණීය දුවේ, පුතේ,

2005 දී මීට අවුරුදු 15 කට කලින් මම ජනතාව අමතලා කිව්වා අපි එදා මුහුණ දෙන ප්‍රශ්න අනාගත පරපුරට භාර දෙන්නේ නැති රටක් හදනවා කියලා. 2005 දී ඉපදිලත් නැති දරුවෝ අද මේ සභාවේ ඉන්න පුළුවන්. ඒ දරුවන්ට එදා තිබූ ඉතිහාසය ගැන මේ මොහොතේ මම මතක් කරන්න ඕනි.

ආදරණීය දුවේ, පුතේ,

එදා මේ රටේ යුද්ධයක් තිබුණා. අද වගේ නිදහසේ ගමන් බිමන් යන්න බෑ. කොයි මොහොතේ බෝම්බයක් පුපුරලා මැරිලා වැටෙයිද කියන්න බැරි රටක් තිබුණා. කිලෝමීටර් හතරෙන් පහට හැම තැනම චෙක් පොයින්ට් තිබුණා. බස් එකෙන් බැහැලා කිහිප පොලක පරීක්ෂාවට ලක් වෙලා තමයි ගමනක් යන්න උනේ. හැම ගමකම යුද්ධයේ මළ ගෙයක් තිබුණා. උතුරු නැගෙනහිර පළාත්වල ලක්ෂ ගණන් බිම් බෝම්බ වළලලා තිබුණා. ඒ වෙලාවේ බොහොමයක් දෙනෙකුට කකුල් අතපය අහිමි වුණා. ගාලු පාරේ නිතරම තුවාල ලබපු අය රොහල්වලට ගේන ඇම්බියුලන්ස් එහා මෙහා ගියා.
ඒ විතරක් නෙමෙයි එදා දහස් ගණන් දරුවෝ උපන්නේ අනාථ නිවාසවල. ඉස්කෝලේ ගියේ යුද්ධයෙන් අනාථ වුණ අය ඉන්න කූඩාරම්වල ඉදලා. ඒ වගේ රටක 2005 දී අපි ජාතිය අමතලා මුලින්ම කිව්වා අපි මුහුණ දෙන ප්‍රශ්න අනාගතයට භාර දෙන්නේ නෑ කියලා.

අද ඒ අනාගතය උදා වෙලා තියෙනවා. එදා පරපුර මුහුණ දුන් ප්‍රශ්න අද මා ඉදිරියේ ඉන්න දරුවන්ට මුහුණ දෙන්න වෙලා නෑ. එදා විදුලිය තිබුණේ රටෙන් කොටසකට. කාපට් කරපු පාරවල් මේ රටේ තිබ්බේ අතලොස්සයි. පරිගණක සාක්ෂරතාව තිබුණේ ජනගහනයෙන් සීයට පහකට විතරයි. ඒවා නිසා ඇති වූ ප්‍රශ්න අද මේ පරපුරට මුහුණ දෙන්නේ නැති රටක් අපි හැදුවා.

කොවිඩ් – 19 වසංගතය ආපු වෙලාවේ මේ රටේ ලක්ෂ ගණන් දරුවන්ට පරිගණක සාක්ෂරතාවය භාවිතා කරලා ඉස්කෝල වැඩ කරන්න පුළුවන් උනේ අපි එදා නවීන තාක්ෂණය රටේ දියුණු කළ නිසයි. නැණසල මධ්‍යස්ථාන පිහිටුවා රටේම දරුවන්ට පරිගණක තාක්ෂණය පුරුදු කරන්න අපි එදා වැඩ කළා. ඈත පළාත්වල දූ දරුවෝ විශ්ව විද්‍යාලයට අයදුම් කරන්නේ මේ නැණසල හරහා බව අපි දන්නවා.

ඒ නිසා දුවේ, පුතේ, මම කියනවා අද අපි යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවානම් ඒ ප්‍රශ්නවලටත් අනාගතයේ මුහුණ දෙන්න වෙන්නේ නැති රටක් අපි හදනවා කියලා.

මිත්‍රවරුණි,

අපි කුඩා කාලයේ ඉදලම දරුවන්ව බෙදනවා. දරුවන්ට බෙදෙන්න, බෙදිලා ජීවත් වෙන්න මඟ පාදා දෙනවා. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලයේ ඉදන්ම දරුවන්ව වෙන් වෙන්ව තියලා උගන්වලා අපි ඒ ගොල්ලො ලොකු මහත් උනාම කියනවා එකතු වෙයල්ලා කියලා.

අධ්‍යාපනයේදී බෙදිලා වෙන්වෙලා ඉගෙනගත් අය වැඩිහිටියෝ උනාට පස්සේ එකතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අද අපේ ජාතිය හමුවේ කියනවා. ජාතිය, ආගම හැටියට විතරක් නෙමෙයි මේ දරුවන් ඉස්කෝල හැටියටත් පොඩි කාලෙම බෙදනවා. ජාතික පාසල්වල දරුවෝ, සුපිරි පාසල්වල දරුවෝ, පළාත් සභා පාසල්වල දරුවෝ, ජාත්‍යන්තර පාසල්වල දරුවෝ කියලා දරුවෝ බෙදනවා. පොඩි කාලෙම බෙදිලා වෙන්වෙලා පන්ති හැටියට ජීවත් වෙන්නයි අපේ දරුවන්ට උගන්වන්නේ.

එක නීතියක් එක රටක් ඕනිනම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසාන කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා.
අද මේ දරුවන්ගෙන් ඇහුවොත් දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද කියලා දරුවෝ කියයි ඉගෙන ගැනීම කියලා. දරුවන්ගෙන් ඇහුවොත් ඔබට තියෙන ලොකුම බර මොකක්ද කියලා දරුවෝ කියයි විභාගවල බර කියලා. අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩ නැගිලි දහස් ගණන් හැදුවත්, ඒවා වායු සමීකරණය කළත්, පොත්පත්, ඇදුම්, සපත්තු, ටැබ් දුන්නත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නෙමෙයි නම්.

අපි අධ්‍යාපනයට ජාතික ආදායමෙන් කොයිතරම් කොටසක් වෙන් කරත් වැඩක් නෑ දරුවන් ඉගෙන ගන්නේ නිදහසේ නෙමෙයි නම්. ඒ නිසා අධ්‍යාපනයට මුදල් වෙන් කරනවාට වඩා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට ඕනි. ඒ ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව මම කියන්න ඕනි.

අපි දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් රටක් නැවත තමන්ගෙ ඉලක්ක ජය ගන්න පුළුවන් රටක් හදලා භාර දෙන්න ඕනි.

ආදරණීය දුවේ, පුතේ,

අපිට අපි උපන් රට ගැන ලොකු වගකීමක් තියෙනවා. මේ දුවලා පුතාලා මතක තියා ගන්න ඕනි අපි මේ පය ගහලා ඉන්න රට ආරක්ෂා කර ගන්න වසර දහස් ගණනක් තිස්සේ ලක්ෂ කෝටි ගණන් ජනතාව, ජීවිත පූජා කරලා තියෙන බව. යටත් නැති රටක් හදන්න අපේ මුතුන් මිත්තෝ අපිරිමිත කැප කිරීම් කළ බව අපි මතක තියා ගන්න ඕනි.
දහස් ගණන් වැව් බැදලා ඒවායේ දියවර අරන් මුතුන් මිත්තෝ අපි වෙනුවෙන් ඒ මහා නිර්මාණ ඉතුරු කළ බව මතක තියා ගන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. අපේ භික්ෂූන් වහන්සේලා ලෝකයේ ශ්‍රේෂ්ඨ ධර්මය ථේරවාදී බුදු දහම වණ පොත් කරලා ආරක්ෂා කරගෙන ගෙනල්ලා ලෝකෙට දෙන්න, රැක ගත්ත බව අපි මතක තියා ගන්න ඕනි. මගේ ඉදිරියේ ඉන්න දුවලා පුතාලා වගකීමක් තියෙනවා මේ දේවල්වලට යමක් එකතු කරන්න.

අද අපි කවුරුත් හිතනවා රුවන්වැලිසෑය බැදපු යුගයේ අපි ජීවත් උනානම් අපිටත් ඒවාට දායක වෙන්න පුළුවන් කියලා.
කැප්පෙටිපොළ නිලමේතුමා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළ යුගයේ අපිත් හිටියානම් අපිත් ඒ සටනට යනවා නේද කියලා අපි අද හිතනවා.

ආදරණීය දුවේ, පුතේ

අපි එහෙම යුගයක් මේ රටේ ගොඩනගන්න ඕනි. අනාගත පරපුර ආපස්සට හැරිලා හිතන කොට අද කාලේ ජීවත් උනානම් කොයිතරම් හොඳ ද කියලා හිතෙන රටක් හදන්න අපි කැප වෙන්න ඕනි.

අද අපේ සියලු දේවල් යළි ගොඩනගන යුගයක්, ඔබගේ ගේ පිටිපස්සේ වැවෙන කහ පැළයේ ඉදන් ඔබ පාසල් යනකොට අදින නිල ඇදුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹිලා තියෙනවා.

ඒ මහා යෝධ කාර්යයට දායක වෙන්න හිතට ගත්තොත් තව අවුරුදු සිය ගාණකට පස්සේ උපදින පරපුර කියයි මේ යුගයේ උපන්නා නම් හොදයි කියලා. ඒ නිසා අපේ මහා ජාතික කවියෙකු වූ එස්. මහින්ද හාමුදුරුවෝ කිව්ව කවියකින් මා මගේ කතාව අවසන් කරනවා.

තමන් ලැබූ දිවි පිවෙතේ – කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් එයින් පුතේ – මෙලොවට කිසි පළක් නැතේ
ඔබට සුභ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි,පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙනේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, සුසිල් ප්‍රේමජයන්ත,අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා,ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර, මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන්, දෙමාපියන්, දූ දරුවන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =