කටුනායක ගුවන්තොටුපොළේ ඉදිකිරීම් වසර 03කින් නිම කරන්න

(කොළඹ, ලංකාපුවත්) –බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන ලෙස ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් අවසන් වීමත් සමඟ වසරකට ගුවන් මඟීන් මිලියන 15කට අධික සංඛ්‍යාවකට සේවා සහ මෙහෙයුම් පහසුකම් සැපයේ. පිට වීමේ සහ පැමිණීමේ පර්යන්ත අංශ දෙකක් ලෙස ක්‍රියාත්මක වීම ද ඒ සමඟම ඇරඹේ.

ඊ-ගේට් පහසුකම් ඔස්සේ මගීන්ට කාර්යක්ෂම සේවාවක් සැලසීමට ද සැලසුම් කර තිබේ.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ (01) පැවැති මේ සාකච්ඡාවේදී කොවිඩ් වසංගතයත් සමඟ අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවීමෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවාවන්ට බලපෑ අහිත කර තත්ත්වය හමුවේ ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

2014 වසරේ ආරම්භ කළ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් 2017 දී අවසන් කිරීමට සැලසුම් කර තිබිණි. නියමිත කාලයට ඉදිකිරීම් සිදු නොවීම නිසා සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැළපෙන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දුන්හ.

2023 වසරට ගැළපෙන අයුරින් සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් (Smart Terminal) ලෙස එහි සංවර්ධන කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ගුවන් තොටුපොළේ කාර්යයන් අඩපණව තිබීම ප්‍රයෝජනයට ගෙන දිවා රාත්‍රී වැඩ කර ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නැයි රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

ඊට සමගාමීව වාහන නැවතුම් අංගණයද ගුවන් තොටුපොළට යාබද භූමියක ඉදි කෙරේ. මත්තල ගුවන් තොටුපොළ ජනවාරි සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් 270ක් සිදු කර ඇති අතර, ඉන් සේවාව ලැබූ මගීන් සංඛ්‍යාව දොළොස්දහසකට අධිකය.

ඉදිරියේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළේ සිට සතියකට ගුවන් වාර 07ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව අනාවරණය කෙරිණ.

ගුවන් කාර්ය මණ්ඩලයට මත්තල ගුවන් තොටුපොළ අවට සියලු පහසුකම්වලින් යුත් හෝටල් පහසුකම් සැපයීම පිළිබඳ ද සාකච්ඡාවට ලක් විය.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග, ගුවන්සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී. චානක, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =