අගමැති අතින් විවෘත වූ මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව

(කොළඹ, ලංකාපුවත්) – මෙරට විශාලතම ඝන ඖෂධ නිෂ්පාදකයාවන හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමට අනුබද්ධිත මොරිසන් පීඑල්සී සමාගම, නවීන තාක්ෂණයෙන් අනූන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) විවෘත කරන ලදි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය ඇමතිනී විශේෂඥවෛද්‍ය සීතා අරඹේපොළ සහ වෙළෙඳ අමාත්‍ය ලේකම් ආචාර්ය සුනිල් නවරත්න ඇතුළු කැබිනට් අමාත්‍යවරු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

හෝමාගම,පිටිපන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ උද්‍යානයේ පිහිටි මෙම කර්මාන්තශාලාව මොරිසන් සමාගමේ දෙවන නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයයි.

ප්‍රථම වලංගු ඖෂධ තොග නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා එම කර්මාන්තශාලාව මේවනවිට සූදානමින් පවතින අතර අත්‍යවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වත්මන් රජයේ ඉලක්කයට සවියක් වෙමින් මීළඟ වසරේ ආරම්භයේදී වාණිජ වශයෙන් ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

සියලු ශ්‍රීලාංකිකයන්හට උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම සඳහා කැපවී කටයුතුකරන මොරිසන් සමාගම මෙරට ඖෂධ පෙති අවශ්‍යතාවයෙන් 20%ක් සම්පාදනය කිරීමේ හැකියාවෙන් යුතුවෙයි.

දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන මොරිසන් සමාගම සිය නවතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා සිදුකරන ලද ඇ.ඩො. මිලියන18.5ක ආයෝජනය මෙරට සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය යුරෝපා සංගමයේ යහපත් නිෂ්පාදනක්‍රමවේද (EU-GMP) වලට අනුකූල ප්‍රථම ඝන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවද වේ.

නවතමඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවේදී මොරිසන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මුර්තසා එසුෆාලි මහතා සිය අදහස් පළකළේය.

“දැරිය හැකි මිලකට උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබාදීමේ මොරිසන් සමාගමේ වසර80ක දැක්ම තවදුරටත් ඉදිරියට ගෙනයමින් මෙම නවතම කර්මාන්තශාලාව අප සමාගමේ සුවිශේෂීසංධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙමආයෝජනය ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් ගත පදනම මත සිදුකෙරුණු ආයෝජනයක් බැවින් මේ හරහා අපට ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගැනීමටත්, ගෝලීය වෙළෙඳපොළ තුළ වඩාත් තරගකාරීවීමටත් අවස්ථාව උදාවනවා. රජයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය හරහා අපනයන අවස්ථා වර්ධනය කරගැනීමටත්, ගෝලීය ඖෂධ සමාගම් සමග නිෂ්පාදන කොන්ත්‍රාත්වලට එළඹීමටත් හැකිවනු ඇති අතර එමගින් ශ්‍රීලාංකේය ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය විදේශ විනිමය හිමිකරදීමටත් හැකිවනවා.”

මෙම නව කර්මාන්තශාලාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන5ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර ද්විත්ව වැඩමුර යටතේ උපරිම ධාරිතාවයෙන් ඖෂධ බෝතල් මිලියන10ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. එමගින් පුහුණු රැකියා 250කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමටද අපේක්ෂිතය.

නිෂ්පාදනහැකියාව මෙන්ම හෝමාගම ප්‍රදේශයේ පාසල් ඖෂධ විද්‍යාව පිළිබඳ දැනුම්වත් කිරීම සහ අභ්‍යන්තර රැකියා පුහුණු සහ ඒකාබද්ධපර්යේෂණ සඳහා උසස් අධ්‍යාපන ආයතන සමග සම්බන්ධවීම හරහා හෝමාගම ප්‍රදේශයේ ප්‍රජාවගේ ජීවනතත්ත්වය නගාසිටුවීමට ඇති හැකියාව ද නිසා මෙමකර්මාන්ත ශාලාව සුවිශේෂීවෙයි.

මානව දෝෂ වළක්වා ගැනීම සඳහා අවම මිනිස් මැදිහත්වීමක් සිදුවන පරිදි නිර්මාණය කර ඇති මෙම නව කර්මාන්ත ශාලාව, මුළුමනින්ම ස්වයංක්‍රිය ද්‍රව නිෂ්පාදන සහ ඇසුරුම්කරණක්‍රමවේද, පරිපූර්ණ රසායන සහ ක්ෂුද්‍ර ජීවවිද්‍යාගාර,පාරිසරික තත්ත්ව පාලනය කිරීම සඳහා වෙනම වායුමෙහෙයුම් ඒකක මෙන්ම ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ මෘදුකාංගයකින්ද සමන්විතය. මෙරට ප්‍රථම ශුන්‍ය ද්‍රව විසර්ජන අපජලපද්ධතියෙන් යුතු කර්මාන්තශාලාවද මෙයවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *