මිනුවන්ගොඩ පොකුර 1357ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 1357 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ඊයේ (11) වාර්තා විය. එම පොකුරට අදාළව ඊයේ (11) දිනයේ ආසාදිතයන් 121ක් හඳුනා ගැනීමත් සමඟ මෙම පොකුරේ වැඩි වීමක් සිදුව තිබේ.

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පසුගිය 4 වැනිදා සිට හඳුනා ගැනීමත් සමඟ එම පොකුරට අදාළ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ 26,000 ක් පමණ සිදු කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට ද වයිරසය ආසාදනය වීමත් සමඟ රෝහලේ 69 වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. කොවිඩ් – 19 රෝගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය නිරෝධායන නීති දැඩි කිරීමට රෝහල් පරිපාලන තීරණය කර ඇත.

මීට අමතරව පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු හෙද නිලධාරිනියකගේ දරුවාට වයිරසය ආසාදනය වී ඇති නිසා එම දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට රෝහල් පරිපාලනය තීරණය කර තිබේ.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි ඇඟලුම් කම්හලක සේවකයින් 11 කට වයිරසය ආසාදනය වී ඇති අතර එම ඇඟලුම් කම්හලේ සේවකයින්ට පසුගියදා (10) සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයින් හඳුනා ගත් බව සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමර මහතා පැවැසුවේය.

කොරෝනා ආසාදිතයින් සමස්තයක් ලෙස මේ වන විට 4628 ක් වාර්තා වී ඇති අතර ඉන් 3307 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් 1308 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =