මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් – 19 වසංගතය බලපවත්නා ප්‍රදේශවල මුව ආවරණ නොපැලඳීම, මීටරයක සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම, යම් යම් පරිශ්‍රවලට පුද්ගලයන් ඇතුළත් වීමේදී උෂ්ණත්වය මැන නොබැලීම යනාදී කාරණාවන්ට අදාළව නීතිමය වශයෙන් දඬුවම් පැමිණවිය හැකි වන අයුරින් ගැසට් පත්‍රයක් ඉදිරි දින දෙක තුළදී නිකුත් කෙරේ.

කොවිඩ් – 19 වැළැක්වීම සඳහා වන මෙම නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝගී ප්‍රදේශයක් ලෙස නම් කරන ප්‍රදේශවල මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි වන බව ද ඇමැතිවරිය පැවැසුවාය.

ඉදිරි දින දෙක ඇතුළත සෞඛ්‍ය විධිවිධානවලට අදාළව නව නීති ගැසට් පත්‍රයකින් ප්‍රසිද්ධියට පත් කරන බවත් නිරෝධායන නීති කඩ කරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට එමඟින් අධිකරණයට හැකි වන බවත් ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව විසින් විවිධ තීන්දු ගනිමින් පවතින බවත් රෝගය බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළි නොපදින පිරිස් සඳහා නීතිමය පියවර ගැනීමට මෙම ගැසට් පත්‍රයෙන් හැකි වන බවත් ඇමැතිවරිය කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 3 =