රන් කුසලානය නිසා හැමෝම දැනගත්ත රත්තරන් ළමයි

(කොළඹ, ලංකාපුවත්) –සෑම ජයග්‍රහණයක්ම පිටුපස ඇත්තේ දුක් කම්කටොළු මැඳින් දිව ආ මාවතකකි. වැටීම්, පසුබෑම් ඔස්සේ ශක්තිමත්ව දෙපයින් සිටගනිමින්, අධිෂ්ඨානශීලීව පැමිණි ගමන්මගේ කූඨප්‍රාප්තිය ලොවට පෙනෙන්නේ ජයග්‍රහණයක් ලෙසිනි. මෙවැනි වූ ජයග්‍රහණයක් පසුගියදා පැවිති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශුරතා අවසන් තරගයේදී හිමි කර ගැනීමට දිරිය දියණියන් පිරිසකට හැකියාව ලැබිණි.

වොලිබෝලය කෙරෙහි අසීමිතව පෙම්බැඳි එක් ධෛර්යවන්ත ගුරුවරයෙකුගේ මගපෙන්වීම ඔස්සේ, මෝදුවන තාරුණ්‍යය කැටිකරගත් ශක්තිමත් යෞවනියන් පිරිසක් විසින් සිය ජන්මයෙන් ලද දරිද්‍රතාවයත්, පරිසරය විසින් ඔවුන්ට උරුම කර දුන් දුෂ්කරතා සමඟ පොරබදමින් සිය අනාගතය ජයගැනීමට වෙර දරණා උත්සාහයේදී තමන් වෙත පැමිණෙන සියලුම බාධාවන් අභියෝගයන් ලෙස සළකමින් එම අභියොගයන් වලට නිදහසේ දෝලනය වෙමින් ඉහළට ඉපිළෙන අත්පන්දුවට පොළව පසාරු කරගෙන යන ආකාරයේ වේගවත් ඩෑෂ් ප්‍රහාරයක් එල්ල කරමින් ජාතික වොලිබෝල් පිටිය තුළ ලබා ඇති ජයග්‍රහණයන් අසමසම වන්නකි. මෙම ජයග්‍රහණයන් සඳහා වටිනාගමක් ලබා දීමේ අරමුණින්, ඔවුනගේ අනාගත ජයග්‍රහණයන් සඳහා දිරිය දීමක් වශයෙන් ඩයලොග් ආයතනය සිය මනුසත්කාර මෙහෙයුම ඔස්සේ ඔවුනට දිරිය සැපයීමට පසුගියදා යොමු විය.

ඔවුන් නමින් ආණමඬුව මහඋස්වැව රතනපාල විද්‍යාලීය අත්පන්දු කණ්ඩායමයි. පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි එම විද්‍යාලය, කිසිදු ආකාරයේ බලාපොරාත්තුවක් පැළ නොවන භූමියකි. හාත්පස වනයෙන් වට වූ වන අලීන් ගහන එම පරිසරයේ, හෙට දිනය පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීමද පුදුමයක් බවට පත්වන්නේ එපමණටම එම පරිසරය දුෂ්කරතාවන්ගෙන් ගහණ වී ඇති බැවිනි. නමුත් මෙහි තාරුණ්‍යයේ ගිළිහෙන බලාපොරොත්තු නැවත පුබුදුවා ලමින් එම විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය අනිල් චන්ද්‍රකුමාර මහතාගේ පුහුණ වීම් කාර්යය යටතේ පාසල් අංශයන්ගෙන් සියලුම අත්පන්දු තරගාවලි ජයග්‍රහණය කරමින්, තමන්ට වඩා පහසුකම් සහිත ප්‍රබල ප්‍රතිවාදී කණ්ඩායම් කිහිප වරක්ම අවසන් මහා තරග වලදී අන්ත පරාජයට පත් කිරීමට මෙම කණ්ඩායම සමත් විය. විශේෂයෙන් මෙවර ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරගයේදී ජ්‍යෙෂ්ඨ ප්‍රතිවාදීන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ඔවුන් ලැබූ අනුශූරතාවය සැමගේ කතාබහට ලක්විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුහුණුකාර අනිල් චන්ද්‍රකුමාර මහතා, කණ්ඩායමක් විදිහට අපි එළිමහන් තරගවලදී දක්වන දක්‍ෂතාවයන් ගෘහස්ත තරගවලදී දක්වන දක්ෂතාවයනට සාපේක්‍ෂව වැඩියි. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ දරුවන්ට ගෘහස්ථ පුහුණුවීම් අවස්ථාවන් නොලැබීම. විශේෂයෙන් ගෘහස්ථ තරග සඳහා යොදා ගන්නා අත් පන්දුව පවා මිල අධික එකක්. අනෙක් තාක්‍ෂණික කරුණ තමයි එළිමහනට වඩා ගෘහස්ථ පරිසරයේ පීඩනය අඩුයි. මේ වගේ තාක්‍ෂණික කාරණා නිසා අපේ දරුවන්ට නියමිත දක්‍ෂතා දැක්වීමේ දුෂ්කරතාවයක් පවතිනවා. අපි තරගවලට එන්නේ කිලෝමීටර 100 විතර දුර ගිහින් පැයකට රු.2000 ක ගෙවල ගෘහස්ථ ක්‍රීඩාගාරයක පුහුණු වීම් කරල. ඒත් ඒක ප්‍රමාණවත් නෑ. අපේ පාසලට අසන්නව කිලෝමීටර 10 ක දුරකින් ගෘහස්ථ ක්‍රීඩාපිටියක් ඉදිකිරීමට යොමුවුනත් අද වෙනකොට ඒක අපිට සිහිනයක් වෙලා තිබෙනවා. මේ නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ දරුවන්ගේ සිහිනය මල්ඵල දරන්නට ශක්තිය ඇති පුද්ගලයකු හෝ ආයතනයකට මෙම සත්කාර්යය සඳහා ඉදිරිපත්වන ලෙසයි.”

ගුරුවරයා යනු මාර්ගෝපදේශකයෙකි, දරුවන් වෙනුවෙන් කැපවෙන්නෙක්, ඒ වෙනුවෙන් අසීමිත වූ කැපවීම් කරන්නෙකි. අපට එවැනි බොහෝ චරිත පොත්වල හමුවී ඇත. එවැනි ආකාරයේ ගුරුවරයෙකු අපට දක්නට ලැබුණේ මෙම විද්‍යාලයේදී ය. අනිල් චන්ද්‍රකුමාර මහතා ගුරුවරයකු මෙන්ම මෙම දරුවන්ගේ දෙමාපියන්ද වෙමින් සිය පෞද්ගලික මුදල් පවා වැය කරමින් මේ දරුවන් පෝෂණය කරනු ලබන්නේ ඔවුනගේ සිහිනය වූ ජාතික තරගයක් ජයග්‍රහණය කරමින් විදේශීය සංචාරයක් සඳහා ගොස් ජාත්‍යන්තර පදක්කමකින් ලාංකාවට කීර්තියක් අත් කර දීමේ අභිප්‍රායෙනි. මෙහිදී එම විද්‍යාලයේ විදුහල්පති තුමන් වන එස්. ඒ. තිලකසිරි මහතා සහ දරුවන්ගේ දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන උපකාරයද ප්‍රශංසනීය වේ.

මෙම ජයග්‍රාහී කතාව තුළ ඛේදනීය වූ අතුරු කතාවන් බොහොමයකි. කණ්ඩායම් නායිකාව වන ප්‍රිතිකා ප්‍රමෝධිනි අදහස් දක්වමින්,

“දුප්පත්ම අපිට සියලු දේම නැතිකරලයි තියෙන්නේ. මගේ මව මේ වෙනකොට විදේශ රටක සේවය කරන්නෙ. මගේ පියා ගොවියෙක්. මගේ කණ්ඩායමේ බොහෝ සාමාජිකාවන්ගෙ දෙමාපියන් පවා මේ වන විට ජීවතුන් අතර නැහැ. ඒත් අපේ සර් අපිට දෙමාපියන් වගේ. අපිට ක්‍රීඩාවෙන් වගෙම් ජීවිතයත් ජයගන්න ධෛර්යය ලබාදෙන්නෙ සර්. අපි කිසිම විටෙක පහසුකම් නැහැ කියල පසුබැහැලත් නැහැ. පසුබසින්නෙත් නැහැ. අපේ එම අරමුණ ජයග්‍රහණයමයි. එක් අවස්ථාවක අපේ කණ්ඩායමේ සමාජිකාවක් පුහුණුවීම් වලට සම්බන්ධ වී නිවස බලා අම්මත් සමඟ යන අතරතුරු වන අලි ප්‍රහාරයකින් අම්මට විශාල අනතුරක් පවා සිදුවුණා. නමුත් මේ සියලුම බාධක මැද්දේ අපේ අධිෂ්ඨානය ජයග්‍රහණය කිරීමට අපේ සර් වගේම විදුහල්පති තුමන් අපිත් එක්ක සිටීම අපිට ශක්තියක්.”

ඉරුණු පාවහන් පැළඳ කාෂ්ඨක පොළවට පොළවට පය තබමින් ඉහළට ඉපිළෙන ඔවුනගේ අපේක්‍ෂාවන් හෙට දිනයේදී ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් ඩයලොග් ආයතනය සිය මනුසත්කාර ප්‍රජා සතාකාරක සේවාව ඔස්සේ ගෘහස්ථ ක්‍රීඩා තරග සඳහා භාවිත කරනු ලබන පාවහන් ඇතුලු එම දරුවන් සඳහා අත්‍යාවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ පෝෂණිය ආහාර අතිරේක ද රැගෙන එම ආයතනය ඔවුන් සොයා යනු ලැබුවේ අරුණාලෝකයද සමඟ ය. ඒ වන විටද පුහුණු වීමේ කාර්යයේ නිතවෙමින් සිටි එම යෞවණියන් තමන් ලැබූ නව පාවහන් පැළඳ දැළට ඉහළින් අදහස පුරා නැගි අත්පන්දුවට පහර දෙනු ලැබුවේ පැමිණ සිට සැමගේ නෙතඟට සතුටු කඳුලක් එක් කරමිනි.

ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරගය නරඹමින් සිටි ඩයලොග් ආයතනයේ සාමාජිකයකුගේ සිතට නැගුණු අදහසකට අනුව දියත් කිරීමට යොමුවූ මෙම ඩයලොග් මනුසත්කාර මෙහෙයුම, ආණමඬුව මහඋස්වැව රතනපාල විද්‍යාලයෙන් ආරම්භ කිරීමට යොමු වීමට ද ඉතා වැදගත් කාර්යයකි. ඩයලොග් ආයතනයේ සාමාජිකයන්ගේ මැදිහත් වීම් කාර්යයෙන් සිදුවූ මෙම සත්කාර්යය, එම විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ ධෛර්යය වර්ධනය කිරීමට පමණක් නොව, ඔවුන් තුළ නව අපේක්‍ෂාවන් වඩවාලීමටත් අවස්ථාවක් නිර්මාණය කර දුන්නේ ය. අනේක වූ දුෂ්කරතා විඳිමින් ඔවුන් ආ ගමන් මග මේ ආකාරයෙන් ඇගයීමට ලක් කිරීමට ඔවුන් කෙරෙහි නව දැක්මක් සමාජය තුළ ඇති කිරීමටද මෙම මනුසත්කාර මෙහෙයුම බෙහෙවින් ඉවහල් වනු ඇත. තවද මෙම සත්කාරය තුළින් මෙම කණ්ඩායමට පමණක් නොව ඔවුන් වටා පෙළගැසී සිටිනා දෙවන පෙළ කණ්ඩායමටද ශක්තියක් සැපයීම, ආයතයනක් ලෙස ඩයලොග් මනුසත්කාර සේවාවේ ඇති සුවිශේෂී කරුණකි.

මෙම පාසලේ පොදු අවශ්‍යතා සහ ක්‍රීඩා අවශ්‍යතා පිළිබදව සොයා බලා ඔබට කල හැකි දෙයක් වේ නම් ක්‍රීඩා ආචාර්ය අනිල් චන්ද්‍රකුමාර මහතා අමතන්න 0778857039

Leave a Reply

Your email address will not be published. Required fields are marked *