ඩිමෙන්ෂියාව සහ අහම්බෙන් වැටීම: වැඩිහිටියන් ආබාධිත තත්වයට පත් වීමට ප‍්‍රධාන හේතු වේ

(කොළඹ, ලංකාපුවත්) –අපගේ සමාජයට සහ ප‍්‍රජාවන්ට කොවිඞ් වසංගතය ඇති කර තිබෙන බලපෑම කොතෙක් දැයි නිශ්චිතව පැවසීම අසීරුය. මෙම වසංගතය හේතුවෙන් විවිධ වූ අනෙකුත් ද්වතියික මට්ටමේ නිදන්ගත රෝග තත්වයන් හි බරපතල ස්වභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඇති අඩු ලූහුඬුකම් මෙන්ම විශේෂයෙන්ම මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් නියෝජනය කරන වැඩිහිටියන් කොවිඞ් වෛරසය නිසා අවදානමට ලක් ව ඇති ආකාරය අනාවරණය වී ඇත.

මේවායින් වඩාත් ප‍්‍රමුඛතාවක් ගන්නේ ඩිමෙන්ෂියාව සහ අහම්බෙන් වන ඇද වැටීම් ය. මෙරට ජනගහනයෙන් 12.5%ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ලෙස වර්ග කර ඇති අතර මෙම වැඩිහිටි ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර අවශ්‍ය රැකවරණය හා ගුණාත්මක සත්කාර ලබා දීම ඉතා අත්‍යාවශ්‍ය සාධයක් වී ඇත.

‘‘නිහඬව පීඩා විඳින්නන්’’

ඩිමෙන්ෂියාව යනු මතකය, සිතීම, හැසීරීම සහ එදිනෙදා කටයුතු සිදු කිරමේ හැකියාව දුර්වල වීමේ රෝගාබාධයයි. ඩිමෙන්ෂියාව ප‍්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ වැඩිහිටි පුද්ගලයින්ට වන නමුත් එය වයසට යාමත් සමඟ සිදුවන සාමාන්‍ය තත්වයක් නොවේ. ලොවපුරා මිලියන 50ක පමණ ජනතාවකට ඩිමෙන්ෂියාව ඇති අතර මිලියන 10කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් සෑම වසරකම අලූතින් වාර්තා වේ. අප රටේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වැඩි වීමත් සමඟ මෙරට ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප‍්‍රතිශතය ද ඉහළ ගොස් ඇති නමුත් එම තත්වය පැහැදිලි කිරීමට තරම් ප‍්‍රමාණවත් දත්ත නොමැත.

රෝගියකු එකම ප‍්‍රශ්න නැවත ඇසීම, තමන්ට හුරුපුරුදු වටපිටාව තුළ ගිලිහී යාම, නුසුදුසු ස්ථානවල දේවල් තැබීම, තම භාණ්ඩ සොරකම් කළ බවට අන් අයට චෝදනා කිරීම, හුරුපුරුදු කාර්යයන් සම්පූර්ණ කිරීමට අපහසු බව පෙන්වීම, දිනයන් සහ වේලාවන් මතක නැති වීම සහ හුරුපුරුදු පුද්ගලයින් හඳුනාගත නොහැකි වීම ආදී රෝග ලක්ෂණ නිරීක්ෂණ කිරීමෙන් රැකබලාගන්නන්ට ඩිමෙන්ශියා රෝගයේ මුලික ලක්ෂණ හඳුනා ගැනීමට හැකි වේ. රෝගය උත්සන්න වන විට, රෝගියාට පුද්ගලික ප‍්‍රතිකාරවලට යාමට පවා අපහසු වනු ඇත.

ඩිමෙන්ෂියා රෝගීන්ට බොහෝ විට, රෝගය පිළිබඳ අවබෝධයක් නැති වීම සහ ඒ පිළිබඳව අදහස් ප‍්‍රකාශ කිරීමට අපහසු වීම නිසා රැකබලාගන්නන් ඔවුන් ගැන දැඩිව ඉවසිලිවන්ත වීම හා විමසිල්ලෙන් සිටීම අත්‍යාවශ්‍ය වේ. වසර ගණනාවක් පුරා, ඩිමෙන්ෂියා රෝගීන්ව හඳුන්වන ලද්දේ ‘‘නිහඬව පීඩා විඳින්නන්’’ ලෙසයි. අත්දැකීම් සහිත රැකබලාගන්නෙකුට රෝගියාගේ අවශ්‍යතා මුහුණේ හා වාචික සංඥා හොඳින් නිරීක්ෂණය කිරීමෙන් මෙන්ම ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ උත්සන්න රෝගීන්ගේ හැසිරීමෙන් හඳුනා ගත හැකිය.

ඩිමෙන්ෂියාව සඳහා බලපානු ලබන ප‍්‍රබලම සාධකය වන්නේ වයස වුවද එය වයසට යාම නිසා ඇති වන නොවැළැක්විය හැකි ප‍්‍රතිඵලයක් නොවන අතර වයස්ගත පුද්ගලයින්ට පමණක් බලපාන්නේ නැත. බොහොමයක් විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනී යන්නේ පුද්ගලයින් දිනපතා ව්‍යායාම් කිරීම, දුම්පානය නොකිරීම, මත්පැන් පානයෙන් වැළකී සිටීම, නියමිත ශරීර බර පවත්වා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හා රුධිරගත සීනි ප‍්‍රමාණය සාමාන්‍ය ලෙස පවත්වා ගැනීම ආදිය මගින් මෙම අවදානම අඩු කරගත හැකි බවයි.

‘‘අහම්බෙන් වන හදිසි ඇද වැටීම්’’

පුදුමයට කරුණ නම්, වැඩිහිටි ජනගහනය අතර සිදු වන මරණ හා ආබාධිත තත්වයන්ට බලපාන ප‍්‍රමුඛතම හේතුවක් ලෙස අහම්බෙන් වන හදිසි ඇද වැටීම් හඳුනාගෙන ඇත. සෑම වසරකම අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ගෙන් 28-35%ක් සහ අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ගෙන් 32-42%ක් මෙම තත්වයට ගොදුරු වේ. කොළඹ දිස්ත‍්‍රික්කයේ වැඩිහිටියන් අතර සිදු කළ රෝහලක් පදනම් කරගත් අධ්‍යයනයකින් සොයා ගෙන ඇත්තේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ගෙන් 23%කට සෑම වසරකම මෙවැනි අවාසනාවන්ත අනතුරු සිදු වන බවයි.

වැටීම් වැළැක්විය හැකි වුවද, එහි අනිසි ප‍්‍රතිඵල ලෙස ආබාධිත තත්වයට සහ මරණයට පත් වීමට ද හේතු විය හැකිය. වයස්ගත පුද්ගලයින්ට ඇත්තේ දුර්වල ඉක්මනින් බිඳෙන සුළු අස්ථීන් නිසා වැටීමකින් අනතුරුව ගැඹුරු අස්ථි බිඳීමකදී එයට ඔරොත්තු දීමේ හැකියාවක් නැත.

රෝගියාගේ කායික හා මානසික ස්වභාවය මෙම වැටීම්වලට ප‍්‍රධාන වශයෙන් හේතු වේ. දෘෂ්ටිය හා ශ‍්‍රවනය, ඇවිදීම හා සමබරතාවය වැඩි දියුණු කිරීම මෙන්ම පෝෂ්‍යදායී ආහාර හා ව්‍යායාම මගින් රෝගියාගේ ශරීර ශක්තිය වැඩි කිරීම සහ නිවැරදි සිහිකල්පනාව පවත්වා ගැනීම ආදිය වැටීම් වළක්වා ගැනීමට බෙහෙවින් උපකාරී වේ. යහපත් ආලෝක තත්වය, ගෘහභාණ්ඩ සීසීකඩ දැමීම අඩු කිරීම, ලිස්සන සුළු මතුපිටවල් මගහැරීම, ආධාරක අල්ලා ගැනීම, සුදුසු පාවහන් පැළදීම ආදිය ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලදී සිදු විය යුතු වෙනස්කම් වේ.

අවදානම් සහිත රෝගීන් හඳුනා ගැනීම සහ මෙවැනි හදිසි අනතුරුවලින් ඔවුන්ව වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට රැකබලාගන්නන් සිය අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව, කලින් සිදු වූ ඇද වැටීම්වල ඉතිහාස තොරතුරු දැන සිටීම, තමා නොදැනුවත්වම මල මුත‍්‍ර කිරීම, ඉරියව්වල අස්ථාවරත්වය, ශ‍්‍රවන හා දෘෂ්ටි ඌනතාවන්, මතකය හා බුද්ධිය දුර්වල වීම හා වෙනත් රෝගී තත්වයන් සහ ඖෂධ වර්ග 5කට වැඩි ප‍්‍රමාණයක් පාවිච්චි කිරීම ආදිය මේ සම්බන්ධව ඉහල අවදානමක් ඇති කරුණු ලෙස සැලකිය හැකිය. එමනිසා, රැකබලාගන්නන් ඔවුන්ගේ වයස්ගත රෝගීන්ගේ එදිනෙදා දින චර්යාව පිළිබඳව හොඳින් දැනුවත්ව සිටීමත් කල්තියා ඊට සහාය ලබා දීමත් සිදු කළ යුතුය.

මානසික සෞඛ්‍ය වැදගත් වන්නේ ඇයි?

මෙහිදී, වයස්ගත පුද්ගලයාගේ කායික අවශ්‍යතාවන් පමණක් නොව ඔවුන්ගේ අදහස්, හැඟීම් සහ සිතිවිලි පිළිබඳව ද රැකබලාගන්නන් හා එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් තේරුම් ගැනීම වැදගත් වේ. එහිදී, රැකබලා ගන්නා තැනැත්තා සහ රෝගියා ධනාත්මක ආකල්පයකින් යුතුව කටයුතු කළ යුතුය. ආහාර රුචිය නැති වීම සහ කලින් ආසාවෙන් සිදු කළ ක‍්‍රියාකාරකම්වලට කැමැත්තක් නොවීම මෙන්ම ඔවුන්ගේ ජීවිතය පිළිබඳ අතෘප්ත ප‍්‍රකාශයන් ඇසීම වැනි විෂාදයෙ හි ලක්ෂණ මගින් රෝගියාගේ ස්වභාවය හඳුනා ගත හැකි අතර මෙවැනි අවස්ථාවලදී වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

පුද්ගලයෙකුගේ කායික සෞඛ්‍යයට මානසික සෞඛ්‍ය තත්වයත් මානසික සෞඛ්‍ය තත්වයට කායික සෞඛ්‍ය තත්වයත් ඍජුවම බලපානු ලබයි. උදාහරණයක් ලෙස, නිරෝගී පුද්ගලයින්ට වඩා හෘද රෝග වැනි කායික රෝග තත්වයන් ඇති වයස්ගත පුද්ගලයින්ට විෂාදය ඇති වීමේ ඉඩකඩ වැඩිය. මීට අමතරව, හෘද රෝගයක් සහිත වයසක පුද්ගලයෙකුගේ විෂාදයට ප‍්‍රතිකාර නොකර සිටීමෙන් එහි ප‍්‍රතිඵලය අහිතකර විය හැකිය.

අවසාන වශයෙන්, ගුණාත්මකභාවයෙන් යුතු වැඩිහිටි සුව සේවාවක් ලබා දීමට හා අපගේ ආදරණීයයන් තුළ මෙවැනි සෞඛ්‍යමය තත්වයන් හඳුනා ගනිමින් ඒවායේ ඇති අවදානම් ස්වභාවයන් පිළිබඳව දැනුවත්ව සිටීම අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර වඩාත් වැදගත් වනුයේ අපගේ වැඩිහිටි ආදරණීයයන් සමඟ ඉවසීමෙන් හා මනා අවබෝධයකින් කටයුතු කිරීමයි.

(කතුවරයා වන වෛද්‍ය දිල්හාර් සමරවීර, තලවතුගොඩ හේමාස් රෝහලේ සහ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග හා වෘද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × one =