ගිනිගත් නැවේ කපිතාන්ට මිලියන 12ක දඩයක්

(කොළඹ, ලංකාපුවත්) –නීතිපතිවරයා පවරා තිබූ අධි චෝදනා දෙකටම වරද පිළිගත් ගිනි ගැනීමට ලක් වූ එම්. ටී නිව්ඩයමන්ඩ් බොරතෙල් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයාට රුපියල් මිලියන 12ක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දම්මික ගනේපොල මහතා ඊයේ (14 ) නියෝග කළේය.

විවෘත අධිකරණයේදී කපිතාන්වරයාට එරෙහිව නගා තිබූ අධි චෝදනා කියවා දීමෙන් අනතුරුව එම චෝදනාවන්ට කපිතාන්වරයා වරද පිළිගන්නා බව දැනුම් දීමෙන් පසුව එම දඩ මුදල ගෙවීමට නියම කෙරුණි .

තවද දඩ මුදල් ගෙවීමෙන් පසුව කපිකාන්වරයා මුදාහැරීමට ද විනිසුරුවරයා ඊයේ(14) නියෝග කළේය.

සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා දෙකක් මත නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය (08) වැනිදා මෙම නඩුව පවරා තිබුණි.

කපිකාන්වරයාගේ නීතීඥවරුන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් කර තිබූ ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණය මෙම නඩුව ඊයේ(14) දින කැඳවන ලදී.

මෙම නඩුව ඉක්මනින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව පවසමින් මෙම මෝසම ඉදිරිපත් කර තිබුණි.

2008 වසරේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත හදුන්වාදීමෙන් පසු විදේශ නාවික කපිතාන්වරයකුට එරෙහිව ගොනු කළ පළමු නඩුව මෙය වන බව නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේය.

තවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දීර්ඝ ලෙස කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා මෙම සිද්ධියට අදාළව කපිතාන්වරයාට සිද්ධියට අදාළව රුපියල් මිලියන 200ක වන්දියක් ගෙවීමට නියම කරන ලෙසයි.

මේ අවස්ථාවේ වන්දියක් ගෙවීමට නියම කිරීමෙන් දෙපාර්ශ්වයටම අගතියක් සිදුවිය හැකි බව විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.

ග්‍රීක ජාතික හිරෝස් හිලියාස් කර්දානි නමැති මෙම කපිතාන්වරයාට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 හා 38 වගන්ති ප්‍රකාරව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

2020 .09 .03 හා 2020.09.12 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ සංගමන්කන්ද තුඩුවේ සිට නැගෙනහිර දෙසට නාවික සැතපුම් 20ත් 62ත් අතර දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේදී එම්.ටී නිව්ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ලෙස කටයුතු කරමින් තෙල් මෙට්‍රික් ටොන් 400ත් 480ත් අතර ප්‍රමානයක් ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේ මුහුදට පිට කිරීමෙන් 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 හා 38 වගන්ති යටතට ගැනෙන වරැදි සිසු කළ බවට වෙන් වෙන්ව චෝදනා දෙකක් මත කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා තිබුණි.

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරැදි සිදුකර ඇති බවට අනාවරණය වන බැවින් එම කපිතාන්වරයා සැකකරුවකු ලෙස නම්කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොතීසි ලබා ගැනීමට නීතිපතිවරයා රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට පසුගිය 26 වැනිදා උපදෙස් ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *